Saturday, January 11, 2025

General line - 0115112241

අගමැති ඉන්දියාවට පා තබයි (UPDATE)




නවසීලන්තයේ තෙදින නිල සංචාරය අවසන් කළ ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිය ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් අද (04) දහවල් නවදිල්ලිය වෙත ළඟා වුණා.

ඒ, ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන්. ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ලෝක ආර්ථික සමුළුවේ මෙහෙයවීමෙන් ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දීය ආර්ථික සමුළුවට ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍ර‍්‍රමසිංහ මහතා එක්වීමට නියමිතව තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ. සිංහා, ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් චිත‍්‍රාංගනී වාගීෂ්වර ඇතුළු පිරිසක් විසින් නවදිල්ලි නුවරට ළඟා වූ ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවා.


අගමැති අද ඉන්දියාවට

(Oct 4, 2016 @ 07:28)

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවරට අද (04) පැමිණීමට නියමිතයි. ඒ, තෙදින නිල සංචාරයක් සදහායි. සිය නවසීලන්ත සංචාරය නිම කරමින් අග‍්‍රාමාත්‍යවරයා නවදිල්ලිය බලා පැමිණෙනු ඇති.

සිය ඉන්දීය සංචාරයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප‍්‍රමුඛ රජයේ ප‍්‍රධානීන් කිහිප දෙනෙකු හමුවී සාකච්ඡා කිරීමටද නියමිතයි.

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (03) පස්වරුවේ නවසීලන්ත පාර්ලිමේන්තු මන්දිරයේ පැවති විශේෂ දේශණයකටද එක් වුණා.

එහිදී ඔහු පැවසුවේ සාර්ක් සංවිධානය එහි සියලු සාමාජිකයින්ට පිළිගත හැකි ප‍්‍රතිඵල ලබාදෙන්නට අසමත් වන්නේ නම් එහි අනාගතය අදුරු විය හැකි බවයි.

එවිට ශි‍්‍ර ලංකාවට වෙනත් විකල්ප සෙවීමට සිදුවන බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේ.