Wednesday, November 20, 2024

General line - 0115112241

“චෝදනා ඔප්පු වුනොත් ඕන දඬුවමකට යටත් වෙනවා”




තමන්ට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය භාරදුන් පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන්නැයි අමාත්‍ය තලතා අතුකෝරළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් අද (14) ලිඛිතව ඉල්ලා සිටියා.

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය කියාසිටියේ තමන් රජයට සතයක හෝ අලාභයක් කර ඇතැයි ඔප්පු වුවහොත් ලබාදෙන ඕනෑම දඬුවමකටද යටත් වන බවයි.

වත්මන් ආණ්ඩුවේ දූෂිතම අමාත්‍යවරුන් හෙවත් ටොප් ටෙන් ලැයිස්තුවේ 4 වැන්නා ලෙසද නම් කරමින් තලතා අතුකෝරළට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය ඉකුත්දා මෙම පැමිණිල්ල අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට භාරදුන්නා.

එමගින් අමාත්‍යවරියට චෝදනා නගා තිබුණේ විදෙස්ගතවන ශ‍්‍රමිකයන්ට අලුතින් හඳුන්වා දුන් රක්‍ෂණාවරණයකින් රුපියල් මිලියන 1500 ක් වංචා කර ඇති බවටයි.

අදාළ පැමිණිල්ලෙන් තමන්ට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් ඉදිරියේදී එම පැමිණිල්ල කළ සියලු දෙනාගෙන් වන්දි ඉල්ලා නඩු පවරන බවද අමාත්‍ය තලතා අතුකෝරළ මෙහිදී කියාසිටියා.