Tuesday, November 5, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව නොමග යැවූ බවට ඒකාබද්ධ විපක්‍ෂයෙන් චෝදනාවක්




අමෙරිකාවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය හරහා ඩයස්පෝරා සංවිධාන සදහා කර ඇති ආරාධනය පාර්ලිමේන්තුව අභිබවා යාමක් බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන පෙන්වා දෙන්නේ මෙය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවක් වන බවයි. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා.

විදේශ කටයුතු අමාත්‍යංශයේ සංහිදියා යාන්ත‍්‍රණය පිළිබද සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ සංහිදියා යාන්ත‍්‍රණය උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය විසින් ඩයස්පෝරා සංවිධානය වෙත මෙම ආරාධනය සිදුකර තිබෙනවා.

එය යොමුකර ඇත්තේ ඇමෙරිකාවේ පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය හරහායි. ශී‍්‍ර ලංකාවේ සංහිදියාව ඇති කිරීම උදෙසා ගනු ලබන පියවර 5 ක් වෙනුවෙන් ඩයස්පෝරා සංවිධානවල යෝජනා සහ අදහස් එමගින් විමසා තිබෙනවා.

විශේෂ නීති උපදේශකයෙකු සහිත අධිකරණ යාන්ත‍්‍රණයක් සකස් කිරීම එහි පළමු පියවරයි. අතුරුදන්වූවන් වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවීම එහි දෙවැන්න ලෙස දක්වා තිබෙනවා.

සත්‍යය, යුක්තිය, සංහිදියාව සහ නැවත සිදුවීම වැළැක්වීම සදහා කාර්යාලයක් පිහිටුවීම මෙහි ඇතුළත් තවත් යෝජනාවක්. හානි පූර්ණ කාර්යාලයක් පිහිටුවන බවද එමගින් පෙන්වා දී තිබෙනවා.

කෙසේවෙතත් මෙවැනි පියවර සම්බන්ධයෙන් ඩයස්පෝරා සංවිධානවලින් අදහස් සහ යෝජනා විමසීම රටට ඉතා අහිතකර බවයි දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් රජයෙන්ද විමසීමක් කළා. සමකැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ ඩයස්පෝරා සංවිධානවලින් අදහස් ලබාගැනීම පමණක් මෙහිදී සිදුවන බවයි.