Thursday, November 7, 2024

General line - 0115112241

පහත් සැලකිළි නිසා නයි නැටවිල්ලට තිත තියයි (PHOTOS)

කේ. ප්‍රියංකර




සිංහල කුල ක්‍රමය පිළිබද ජනතාව තුල එකිනෙකට වෙනස් ආකාරයේ විවිධ ආකල්ප වත්මන් සමාජයේද නිරන්තරයෙන් කතා බහට ලක්වන අවස්ථා එමටයි. අප රටේ එවන් එක් කුලයක් ලෙස සැලකෙන අහිකුණ්ටක කුලයට අද වන විට හිමිව ඇත්තේ පහත් මට්ටමේ සැලකිල්ලක්.

අහිකුණ්ටක යැයි සලකෙන මෙම ජන කොටසේ උපන් භූමිය ලෙස සැලකෙන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයයි. ඔවුන් තෙලිගු ජාතිකයින් බව කව්රුත් නොදන්නා කරුණක් විය හැකියි. 

පසු කාලීනව මොවුන් ඉන්දියාවේ සිට අප රටට සංක්‍රමණය වීමෙන් අනතුරුව මුල්ම ජනාවාසය කුඹුක්වැව ජනපදයේ පිහිටුවා ගැනීමෙන් අනතුරුව එහි  තෙලිගු ජාතික  පවුල් 50ක් පමණ වාසය කල බවට ඉතිහාසයෙන් සාක්ෂි හමුවනවා.

එදා සිට මෙම තෙලිගු ජාතිකයින්ගේ ජීවනෝපාය වී තිබුණේ ගමින් ගමට ගොස් සතුන් ප්‍රදර්ශනය කර මුදල් උපයා ගැනීමයි. එක් ගම්මානයක ඉදිකරන කූඩාරමක් සිය වාසස්ථානය බවට පත්කර ගන්නා ඔවුන් එකී කූඩාරම තුල දින හතක් රැඳී සිටිමින් අවට ගම්මාන වෙත ගොස් මෙම කටයුතුවල නිරත වුණා.

එම ප්‍රදර්ශනයන් සදහා කැළෑවෙන් අල්ලා ගන්නා විෂ ඝෝර සර්පයින් යොදා ගත්තා. ඒ අනුව රජ කුලය, බමුණු කුලය, ගොවි කුලය, ගැරඩි කුලය, බෙරවා කුලය වැනි කුල වලට අයත් නාගයින් වනාන්තර තුලදී අල්ලා ගන්නේ සුදු එළවරා නැමති ඖෂධීය ශාකය උපයෝගි කරගනිමින්.

ඊට අමතරව පොලගා, පිඹුරා, රිළවා වැනි සතුන්ද මෙම ප්‍රදර්ශනයට යොදා ගත්තා. මොවුන් භාවිතා කරන නලාව තිත්ත ලබු ගෙඩියක ආධාරයෙන් සදා ගන්නවා. විෂ ඝෝර සර්ප දෂ්ඨනයන් සඳහා ක්ෂණික ප්‍රතිකාර මොවුන් සතුව වනවා.

වර්තමාන සමාජය හඳුන්වන නයි ගල හෙවත් විෂ ගල සකස් කර ගැනීම සඳහා ඔවුන්ට තුන් මසක් පමණ ගත වන බවයි සඳහන් කරන්නේ.

1971 වර්ෂයේ තඹුත්තේගම කුඩාගම ප්‍රදේශයේ ජන උදාන ගම්මානයක් මොවුන් වෙනුවෙන් ඉදිවනවා. එහි පදිංචියට පැමිණි මොවුන් පසු කාලීනව විවිධ තරාතිරම්වල රැකියා තෝරා ගැනීමත් සමග පාරම්පරික රැකියාව කෙමෙන් කෙමෙන් විනාශ වන්නට පටන් ගන්නවා. අද සමාජය සිය ජන කොටස් පහත් කොට සැළකීම මෙම රැකියාව අත්හැරීමට ප්‍රධාන හේතුව බවයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

තමන්ගේ දරු පරපුර අද වන විට රටේ උසස් ස්ථානවල විවිධාකාර නිළ තල හොඹවමින් සිටින බවත් ඔවුන් පවසනවා.

ඒ අනුව මෙපමන කලක් පුරාවට පවත්වගෙන ආ මෙම පාරම්පරික රැකියාව නුදුරේදීම සම්පූර්ණයෙන්ම නවතින බවත්, ඉදිරි පරපුරට මෙය අහිමිව යනු ඇති බවයි පාරම්පරික වැඩිහිටියන් පෙන්වා දෙන්නේ. සිය තරුණයින්ට නයි නටවා හම්බ කරන්නැයි කියූ විට ඔවුන් සිනා වෙන බවත් ඔවුන් ද දැන් මෙම රැකියාව පිළිකුල් කරන බවද සඳහන් කරනවා.

මොවුන් මුහුණ පා සිටින තවත් ගැටලුවක් වන්නේ දිනෙන් දින වර්ධනය වෙන මෙම සමාජයට ගැලපෙන පරිදි ඉඩකඩම් පහසුකම් සහ යටිතල පහසුකම් නොමැති වීමයි.