Saturday, January 18, 2025

General line - 0115112241

තියුණු සටනකින් පසු සුරංග ලක්මාල් ශ්‍රී ලංකාවට ජය ගෙන දෙයි




පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී දකුණු අප්‍රිකාව සමග පැවති සිවු වෙනි එක්දින තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 4 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08) සමත් වුනා. 

වර්ෂාවෙන් බාධා වීම නිසා තරගය ආරම්භ කරනු ලැබුවේ පස්වරු 4.30ට වන අතර තරග තීරකවරයා එහිදී එක් කණ්ඩායමක ඉණිමක් සදහා ඕවර 39 ක් ලෙස සිමා කර තිබුනා.

කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු නායක කුවින්ටන් ඩි කුක් ගේ ආරාධනයට අනුව මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය නියමිත පන්දුවාර 39 තුලදී කඩුලු 7ක් දැවී ලකුණු 306 ක් රැස් කරනු ලැබුවා. එහිදී තරගයේ 7 වන කඩුල්ල වෙනුවෙන් තිසර පෙරේරා සහ දසුන් ශානක ලකුණු 109 ක සම්බන්ධතාවයක් පැවැත්වුවා. ශ්‍රී ලංකා ඉණිම වෙනුවෙන් දසුන් ශානක ලකුණු 65, කුසල් පෙරේරා 51, තිසර පෙරේරා නොදැවී ලකුණු 51 කින් දායකත්වය සැපයුවා.

ලකුණු 307 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ඉණිමේ සිවුවැනි පන්දුවාරය ආරම්භයත් සමග යලි තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවූ අතර තරගය යලි ආරම්භ කරනු ලැබුවේ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕවර 21ක් තුලදී ලකුණු 191 ක ඉලක්කයක් ලබා දෙමින්.

දකුණු අප්‍රිකානු පිතිකරුවන් සුපුරුදු ප්‍රහාරාත්මක පිතිකරණයේ යෙදෙමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිය ඉලක්කය වෙත ලගා වීමට හැකි බව පෙන්නුම් කලත් තරගයේ අවසාන ඕවර්  කිහිපයේදී තිසර පෙරේරා සහ සුරංග ලක්මාල් ගේ දක්ෂ පන්දු යැවීමත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටියේ දැක්වූ දක්ෂ පන්දු රැකීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අවසානයේදී තරගයේ ජයග්‍රහණය හිමිවුවා.  දක්ෂ පන්දු යැවීමක නිරතවූ සුරංග ලක්මාල් ලකුණු 46 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුනා.

තරගයේ අවසාන පන්දුවාරයේදී දකුණු අප්‍රිකානු පිලට ජයග්‍රහණය සදහා ලකුණු 07 ක් පමණක් අවශ්‍යව තිබු අතර දක්ෂ පන්දු යැවීමක නිරතවූ සුරංග ලක්මාල් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රහාරක පිතිකරු ඩේවිඩ් මිලර් පිටියෙන් ඉවත් කරමින් අවසන් ඕවරයේදී ලකුණු 4ක් පමණක් ලබා දෙමින් ශ්‍රී ලංකාවට ජයගෙන දීමට සමත් වුවා.