හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අරමුදල් භාවිත කරමින් යකඩ බට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය එස්.බී දිසානායක අද (13) යළි ප්‍රකාශයක් සිදු කළා.
ඒ, මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් තමන් සිදු කළ ප්‍රකාශයක් මාධ්‍ය මගින් වැරදි ලෙස වාර්තා කර ඇති බව පවසමින්. අමාත්‍ය එස්.බී දිසානායක එහිදී දැක්වූ අදහස් පහතින් දැක්වේ.
“මම කිවුවේ බැසිල්ව අල්ලන්න කරුණු දහසක් තියෙනවා. මේ අල්ලගෙන තියෙන්නේ නැට්ටක්. නැට්ටෙන් බැසිල් නිදහස් වෙනවා ඒකයි කිවුවේ. බැසිල්ව අල්ලන්න ඕනේ ඒවා එකකින්වත් අල්ලලා නැහැ.
බැසිල් විශාල මන්දිරයක් ගොඩ නගනවා කඩුවෙල අක්කර 15ක. ඒ වගේම දකුණේ තියෙන වටිනාම ඉඩම් ප්‍රමාණයෙන් අක්කර 05ක් අරගෙන මහා මන්දිරයක් හදනවා. ඒකත් එයාගේ නෙමෙයි කියනවා.
ගම්පහ කාර්යාලය හා එයා හදපු මන්දිරය එයාගේ නෙමෙයි කියනවා. මේවා තමයි යෝධ කාරණා. මේ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට තිබුන බට ටික , මේක මේ අල්ලන්න ඕනේ නැති එකක් කියලයි මම කිවුවේ. බට වලින් ඔහු වැරදිකාරයෙක් කරන එක ලේසී නැහැ”.
ඉකුත් දා පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා අදාළ කරුණ සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසයි.
“බට වළ වරදක් මට නම් පේන්න නැහැ. බට අරගෙන තියෙනවා නියමිත ටෙන්ඩර් පරිපාටිය අනුගමනය කරලා. ඒ බට ගෙනිහිල්ලා ප්‍රාදේශීය සභාවලට දීලා තියෙනවා.
ප්‍රාදේශීය සභාවලට බට ඕනේ. පන්සල් වල උත්සව වලට , මළ ගෙවල් වලට , කවුරුහරි දේශපාලඥයෙක් ගියාම ඒ හැම දේකටම බට ඕනේ. ඒක දුන්න වෙලාව පිළිබඳ වෙන කාරණයක්. හැබැයි බට හරියට මිලදීගෙන තියෙනවා. බට හරියට ගිහිල්ලා බාරදීලා අපේ ෆයිල් වල ඒ අය භාරගත්ත බවට ලියුම් තියෙනවා. මොකක්ද ඒකේ තියෙන වරද ?