ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් අද ගොනු කළා.
ඒ, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය විසින්.
ශ්‍රී ලංකාවේ විද්‍යුත් විකාශන ආයතනවල කටයුතු කෙරෙහි එකී පනත් කෙටුම්පතේ යෝජිත ඇතැම් සංශෝධනයන් මගින් සිදුවන අගතිදායක බලපෑම සහ එමඟින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ඔවුන් තම පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ඒ වගන්තිය අනුව මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් පමණක් නීතියක් බවට පත් නොකර ජනමත විචාරණයක් සිදු කරන ලෙසටද ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය සිය පෙත්සමේ දක්වා තිබෙනවා.
විෂයභාර අමාත්‍යවරයාගේ හෝ බලධාරීන්ගේ අභිමතය පරිදි මාධ්‍ය ආයතන සඳහා නීති සකස් කිරීමටද මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති හරහා අවස්ථාව පවතින බවද ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය ගොනු කළ පෙත්සමේ වැඩිදුරටත් දැක්වෙනවා.
මේ අතර රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදුලි සංදේශ නියාමන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද තවත් පෙත්සමක් ඉදිරිපත් වුණා.
එම් ටී වී චැනල් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.