Tuesday, March 4, 2025

General line - 0115112241

ලෙඩ වූ රාජ්‍ය සේවකයන් අද සාමාන්‍ය පරිදි රාජකාරියට



අසනීප නිවාඩු වාර්තා කිරීමේ දෙදින වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූ රාජ්‍ය සේවකයන් අද සාමාන්‍ය පරිදි රාජකාරි සඳහා වාර්තා කරනවා.

ඒ, ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් වීම හේතුවෙන්. රජයේ විධායක නිලධාරින්ට ඉහළ දැමූ රුපියල් 25,000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස බලකරමින් වෘත්තීය සමිති රැසක සාමාජිකයින් දින දෙකක් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වුණා.

කෙසේවෙතත් අද පස්වරු 02ට සිය සාමාජිකයින් රැස්වී ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරන බවයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ. 

මේ අතර අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වූ ගුරු විදුහල්පතිවරුන් ද අද සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය පරිදි පාසල් කටයුතු අද දිනයේ සිදුවන බවයි ලංකා ගුරු සංගමය පැවසුවේ.

කෙසේවෙතත් වර්ජන මැද රාජකාරි සඳහා පසුගිය දින දෙකේ වාර්තා කළ රාජ්‍ය සේවකයන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. 

එමෙන්ම එලෙස රාජකාරි සඳහා වාර්තා කළ රජයේ නිලධාරින්ට ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රසංශා සහතිකයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා එහිදී කළ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩලයේ හිමිවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.