බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ, පාතාල කල්ලි සාමාජික හීනටියන සංක විසින් බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට දුරකතනය ඔස්සේ මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධිය සැලකිල්ලට ගෙනයි.
එම බන්ධනාගාර අධිකාරිවරයාගේ කටුනායක ප්‍රදේශයේ පිහිටි නිවස වෙත පෙරේදා පස්වරුවේ යතුරු පැදියකින් පුද්ගලයන් දෙදෙනකු පැමිණ තිබෙනවා.
ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු නිවසේ සිටි බන්ධනාගාර අධිකාරිවරයාගේ පියා වෙත ජංගම දුරකථනයක් ලබා දි ඇත්තේ ඇමතුමක් ඇති බව පවසමින්.
ඊට ප්‍රතිචාර දැක්වූ විට ඇමතුමේ රැඳී සිටි පුද්ගලයා පවසා ඇත්තේ තමන් ඩුබායිහි රැඳී සිටින හීනටියන සංක බවයි.
බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සිය සමීපතයන්ට නිදහසේ සිටිමට අවස්ථාව ලබා දෙන ලෙසත් එලෙස සිදු නොකර ඔවුන්ට හිරිහැර කළහොත් බන්ධනාගාර අධිකාරිවරයා ඝාතනය කරන බවටත් ඔහු අදාළ නිලධාරියාගේ පියාට පවසා ඇති බවයි වාර්තා වුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් බුස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා විසින් කටුනායක පොලිසිය වෙත පැමිණිල්ලක්ද කර තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දීමක් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
මෙම බන්ධනාගාර අධිකාරිවරයා බුස්ස බන්ධනාගාරයේ රාජකාරි සඳහා යොමු කර ඇත්තේ මීට මාස 6කට පමණ පෙරයි.
ඔහුගේ උපදෙස් සහ මෙහෙයවීම මත එම බන්ධනාගාර තුළ විටින් විට වැටලීම් ගණනාවක් සිදු කර ප්‍රබල ගණයේ අපරාධකරුවන් සතුව තිබු ජංගම දුරකථන රැසක් සොයා ගෙන ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.