Wednesday, March 5, 2025

General line - 0115112241

අතුරුගිරියේ වෙඩි තැබීමට සැකපිට අත්අඩංගුවට ගත් ලොකු පැටීගේ මස්සිනා ඇතුළු තිදෙනා මුදාහරියි



අතුරුගිරියේ වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ක්ලබ් වසන්තගේ බිරිදට වෙඩි ප්‍රහාර අටක් එල්ල වී ඇති බව වාර්තා වනවා.

එම උණ්ඩ ඇයගේ ශරීරයේ තිබී ඉවත් කර තිබෙනවා.

කළුබෝවිල ශීක්‍ෂණ රෝහලේ ක්ලබ් වසන්තගේ බිරිද ප්‍රතිකාර ලබන අතර ඇය මේ දක්වා සැත්කම් තුනකට  භාජනය කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

කෙසේවෙතත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද මෙතෙක් තීරණයකට එළඹීමට නොහැකි බව රෝහල් වෛද්‍යවරුන් පවසා ඇති බවද වාර්තා වුණා.

ඇයට ජීවිත තර්ජන එල්ල වී ඇති හෙයින් එම රෝහල ආශ්‍රිතව විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර ක්ලබ් වසන්තගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේදි සිදු කෙරුණා.

එම අවස්ථාවේදිද විශේෂ ආරක්‍ෂාවක් යොදවූ බවයි පොලිසිය පැවසුවේ.

අතුරුගිරියේ වෙඩි තැබීමට සැකපිට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටීගේ මස්සිනා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු වැලිපැන්න, කුරුන්ද ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින්.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ වෙඩි තැබීමට සම්බන්ධ වූ වෙඩික්කරුවන්ට නවාතැන් දුන්නේ දැයි සැකපිටයි.

පොලීසිය විසින් සැකකරුවන්ගේ නිවාස පරීක්‍ෂා කර ඇති අතර එහිදි සැක කටයුතු කිසිවක් හමුවී නැහැ.

මේ හේතුවෙන් සැකකරුවන් තිදෙනා මුදාහැරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.