Wednesday, March 5, 2025

General line - 0115112241

අල්ලස් සිද්ධියට රිමාන්ඩ් කළ නිලධාරීන් දෙදෙනාට බන්ධනාගාරයෙන් මාරුවක්



කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ කොස්තාපල්වරයාද වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර තිබෙනවා.

ඒ, ඔහුගේද ආරක්‍ෂාව පිළිබද සැලකිල්ලට ගනිමින්.

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරයෙකු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ අනුව ඔවුන් දෙදෙනා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඔවුන් දෙදෙනා එම බන්ධනාගාරයේ රදවා සිටියදි පසුගියදා රැදවියෙකු පැමිණ කුඩා උල් ආයුදයකින් සැකකාර පොලිස් පරීක්‍ෂකවරයාට තුවාල සිදුකර තිබුණා.

ඉන් අනතුරුව එම පොලිස් පරීක්‍ෂකවරයා ප්‍රතිකාර සදහා යොමු කෙරුණේ වැලිකඩ බන්ධනාගාර රෝහලටයි.

තුවාල සිදුකිරීම හේතුවෙන් ඔහුට මැහුම් 8 ක් පමණ ගැසූ බවයි වාර්තා වුණේ.

පොලිස් පරීක්‍ෂකවරයා මීට පෙර අවස්ථාවක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කළ රැදවියෙකු විසින් එලෙස තුවාල සිදුකර තිබූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ප්‍රතිකාර ලබන සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා සුවවීමෙන් අනතුරුවද වැලිකඩ බන්ධනාගාර රෝහලේම රඳවා තැබීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ. 

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඔහු සමග රදවා සිටි පොලිස් කොස්තාපල්වරයාද වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාගේ ආරක්‍ෂාව පිළිබද සලකා එලෙස වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.