Friday, April 26, 2024

General line - 0115112241

‘එතුමා කළේ දේශපාලන තර්ජනයක්’ – රාජිත




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කඩාගෙන ගොස් කිසියම් පිරිසක් වෙනම පක්‍ෂයක් හැදුවහොත් රහස් කිහිපයක් හෙළි කරන බවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉකුත්දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදත් කතාබහක් ඇති වුණා.

ඒ, කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදියි.

කරුණු රටට හෙළිනොකර රහස් ලෙස පවත්වා ගැනීමෙන් ජනාධිපතිවරයා කරන්නේ හොරුන් හා දූෂිතයන් ආරක්‍ෂා කිරීම දැයි මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබාදුන්නේ සමකැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නයි.

එහිදී ඔහු පැවසුවේ “කොහෙද තියෙන්නෙ හොරු කියලා කතාවක්. රහස් කියන එක තමුන්නාන්සෙලා හිතන්නෙ හොරු කියලද?. කොච්චර රහස් තියෙනවද මිනිස්සුන්ට. පක්ෂයේ සභාපති ලේකම් අතරෙයි කොච්චර රහස් තියෙන්න ඇත්ද?. අපිත් ඉන්නෙ බලාගෙන මේවා එළියට එනකම්. එතුමා කලේ දේශපාලන තර්ජනයක්. පක්ෂයක් කඩලා තව පක්ෂයක් හදන්න යනවා නම් ඉන්න නායකයාට එහෙම කියන්න පුළුවන්.” යනුවෙනි.

බලශුන්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කෙරුණු වැට් බදු සංශෝධන කෙටුම්පත නැවත පාර්ලිමේන්තුවට ගෙනඑන්නේ දැයිද මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ ආදායම වැඩි කර ගැනීමේ ප‍්‍රබල ඕනෑකමක් ආණ්ඩුවට තිබෙන බවයි. කෙසේවෙතත් වැට් බද්ද සංශෝධනය කළයුත්තේ කෙසේදැයි අවසන් එකගතාවක් තවමත් නොමැති බවද ඔහු කියාසිටියා.