Monday, March 10, 2025

General line - 0115112241

ගුවන් සේවිකාවකට පරුෂ වචනයෙන් බැණවැදුණු මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට

ටී කේ ජී කපිල



කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ  ශ්‍රී ලන්කන් ගුවන් යානක සේවයේ නිරත වී සිටි ගුවන් සේවිකාවකට එහි ගමන් ගත් මගියෙකු විසින් අතින් ඇද පරුෂ වචනයෙන් බැණ වැදීමේ සිදු වීමක් සම්බන්ධයෙන් එම ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 230 දරන ගුවන් යානය අද අලුයම 02.00 ට පමණ කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ බලා පිටත් වී තිබෙනවා.

මෙම ගුවන් යානය පිටත් වී පැය 03.30 කට පසුව එහි ගමන් ගත් ගුවන් මගීන්ට ආහාරපාන ලබා දී, ඒවා පිරිනැමූ භාජන ඉවත් කිරීම ආරම්භ කළ අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මෙම ගුවන් මගියාගේ ආහාරපාන ලබා දුන් හිස් භාජන ඉවත් කර ගැනීමට සූදානම් වනවිට අදාළ ගුවන් මගියා සිද්ධියට මුහුණදුන් ගුවන් සේවිකාවගේ වම් අත තදින් අල්ලා, පරුෂ වචනයෙන් බැණ වැදී තිබෙනවා.

සිද්ධියට මුහුණදුන් ගුවන් සේවිකාව මේ පිළිබඳ වහාම ගුවන් යානයේ කාර්යය මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබූ අතර ඔවුන් ගුවන් නියමුවා දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබුණා.
ඒ අනුව ගුවන් නියමුවා සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ දැනුවත් කිරීමට පියවර ගෙන තිබූ අතර, අද උදෑසන 08.45 ට පමණ යානය ගොඩ බැස්සවීමෙන් පසු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් සැකකාර ගුවන් මගියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇති ගුවන් මගියා හොරණ, පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.

එම ගුවන් මගියා අත්අඩංගුවට ගැනීමෙන් මද වේලාවකට පසු  ගුවන් තොටුපොළ පොලිසිය තුළ දී හෘදයාබාධයක් වැළදීම හේතුවෙන් මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

හිංසනයට ලක් වූ ගුවන් සේවිකාව ද වෛද්‍ය පරීක්ෂණ සදහා මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත පොලිසිය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

සැකකාර ගුවන් මගියා ගුවන් අවකාශය තුළ සිදු වූ සිදුවීමක් බැවින්  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහුට ඇප දීම නීතිපතිවරයා විසින් තීරණය කළ යුතු බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළා.