වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටි මරණ දඬුවම නියම වූ දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර තිබෙනවා.
ඒ අනුව ඔහු එම බන්ධනාගාරයේ කේ වාට්ටුවේ රඳවා ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
දුමින්ද සිල්වාට තවදුරටත් බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා දිය යුතුදැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලිඛිතව විමසීමක් සිදු කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් සොයා බැලූ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ ඔහුට තවදුරටත් වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර කිරීම අවශ්‍ය නොවන බවයි.
කෙසේවෙතත් ඔහුට යම්කිසි අසනීප තත්ත්වයක් ඇති වුවහොත් කඩිනමින් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙසටද වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
ඒ අනුව දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුවේ රැඳවීමට පියවර ගෙන තිබෙනවා.
ඔහු සමග තවත් සිරකරුවන් සිය දෙනෙකු පමණ කේ වාට්ටුවේ රඳවා සිටින බවයි වාර්තා වුණේ.
ඒ අතර මරණ දඬුවම නියම වූ සිරකරුවන්, සිර දඬුවම් විඳින චීවරධාරීන්, රජයේ සේවකයන් ද සිටින බව බන්ධනාගාර ආරංචි පැවසුවා.
මරණ දඬුවම නියම වී සිටින දුමින්ද සිල්වා වසරකට අධික කාලයක් රඳවා සිටියේ වැලිකඩ බන්ධනාගාර රෝහලේයි.
ඔහුට විශේෂ පහසුකම් සපයා ඇති බවට පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ විවිධ අදහස් පළ වුණා.
ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක්ද සිදු කළා.
කෙසේවෙතත් දුමින්ද සිල්වාට විශේෂ පහසුකම් කිසිවක් සලසා නොමැති බව එම විමර්ශනවලදී අනාවරණ වූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.