Tuesday, March 11, 2025

General line - 0115112241

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 05ක් ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු - අජිත් රෝහණ සහ එස් ටී එෆ් ප්‍රධානියාත් ඒ අතර



ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස් දෙනෙකු ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් ලබන 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා. 

ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණයකට අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා විසින්. 

ඒ අනුව වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් කේ ජයලත් මහතා දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා. 

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ස්ථාන මාරු කර ඇත්තේ නැගෙනහිර පළාතේ සිට වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි. 

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ඩබ්ලිව් එස් ඊ ජයසුන්දර මහතා ද ස්ථාන මාරු කර තිබෙනවා. ඔහු ස්ථාන මාරු කර ඇත්තේ නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි. 

දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් ඩබ්ලිව් එම් සේනාරත්න මහතා ඌව පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා. 

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යූ පී ඒ ඩී කේ පී කරුණානායක මහතා ඌව පළාතේ සිට විශේෂ ආරක්ෂක දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. 
 

මේ අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් පස් දෙනෙකු සහ පොලිස් පරීක්‍ෂකවරයෙකු ද ස්ථාන මාරු කර තිබෙනවා. 

ඒ අනුව කිලිනොච්චිය හා මුලතිව් දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ඩී ජී එස් ද සිල්වා මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරියා ලෙස ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. 

නියෝජ්‍ය පොලිස්පති එස් ඩී විජේසේකර මහතා වව්නියාව හා මන්නාරම දිසාවලට අමතරව කිලිනොච්චිය හා මුලතිව් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමටද පත් කර තිබෙනවා. 
 

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස් දෙනෙකු ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කිරීමට නියමිත බව නෙත් නිවුස් මීට පෙර පළමුවරට අනාවරණ කළා.