Friday, March 28, 2025

General line - 0115112241

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට



මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේදීයි. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22, 24 හා 30 යන වයස්වල පසුවන ආගරපතන, නමුණුකුල හා පන්නිලතැන්න යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකු බවයි පොලීසිය පැවසුවේ.

පසුගිය ජනවාරි මස 06 වනදා අනන්‍යතාවයක් තහවුරු කර ගැනීමට නොහැකි පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ වැටී සිටියදී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබුණා. 

එම පුද්ගලයාගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් සිදු කර තිබෙනවා. 

එහිදී අනාවරණ වූ කරුණු අනුව මරණකරුගේ හිසෙහි අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇති බවත් ශරීරයේ තැලීම් තුවාල ඇති බවටත් වාර්තාවක් ලබා දී ඇති බවයි පොලීසිය පැවසුවේ. 

ඒ අනුව එම මරණය මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී තිබෙනවා.
 

ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් සිදුකල වැඩිදුර විමර්ශනවලදී සිදුවීම සිදුවූ වෙළෙඳසැලේ සේවය කළ පුද්ගලයින් තිදෙනෙකු මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම සම්බන්ධයෙන් එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.