Monday, February 24, 2025

General line - 0115112241

වාද්දූවේ එක්දරු පියා මියගියේ පොලිස් පහරදීමකින්ද?



වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් එක්දරු පියෙකු පොලිස් ඇප මත මුදාහැර සිටියදී රෝහල්ගත වීමෙන් පසු මියගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ, පවුලේ ඥාතීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි සමිත දිල්ෂාන් නමැති 24 හැවිරිදි එක්දරු පියෙක්. 

ඔහු රිය අනතුරක් සම්බන්ධයෙන් වාද්දුව පොලීසිය විසින් ඉකුත් දා අත්අඩංගුවට ගෙන තිබුණා.

පැය කිහිපයකට පසුව ඔහු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඇතිවූ රෝගී තත්ත්වයක් මත රෝහල්ගත කර ඇති බවයි වාර්තා වුණේ. 

පසුව පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබුණා.

මේ සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ විසින් පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට කළ පැමිණිල්ලකට අනුව මේ වන විට පරීක්‍ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ.

මියගිය තැනැත්තාගේ මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.