Wednesday, February 26, 2025

General line - 0115112241

මිනුවන්ගොඩ වෙඩි ප්‍රහාරයේ ඉලක්කය කෙහෙල්බද්දර පද්මේගේ මිතුරෙකු බව හෙළි වෙයි



මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේ දී අද සිදුවූ වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ පාසල් මිතුරෙකු බවට අනාවරණ වී ඇතැයි වාර්තා වනවා.

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන එක් පාර්ශවයක් වන්නේද කෙහෙල්බද්දර පද්මේටයි.

අද උදෑසන 11ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේ දී මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා. එහිදී තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 36ක පමණ පුද්ගලයෙක්.

පසුව ඔහු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළා.

මෙම පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක් වුණේ මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේ ත්‍රීරෝද රථගාලේ සිටියදීයි.

වෙඩිතැබීමෙන් ඔහුගේ පාදයකට සහ අතකට තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන නැහැ.