යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට අවශ්‍ය පොහොර, හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යල කන්නයට අවශ්‍ය පොහොර සැපයුම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
යල කන්නයේ වී ගොවිතැන සහ අනෙකුත් කෘෂිකාර්මික කටයුතු සඳහා පවතින පොහොර අවශ්‍යතාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.
අපහසුතාවකින් සහ බාධාවකින් තොරව ගොවීන්ට යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට හැකි පරිසරය සකස් කර දීමට කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.
මේ අතර, මෙවර අයවැයෙන් වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ඉදිරි මාස 08 තුළ පූර්ණ හා ඵලදායී ලෙස යෙදවීමේ අවශ්‍යතාවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට පෙන්වා දී තිබෙනවා.
මෙරට වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා ගත යුතු ඉදිරි පියවර සහ මෙවර අය-වැයෙන් වාරි කර්මාන්තය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
ගොවි ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලුවක් වන ජල ගැටලුවට ස්ථීරසාර විසඳුමක් ලබා දීමේ අරමුණින් මෙවර අය-වැයෙන් වාරි කර්මාන්තය සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.
එම ප්‍රතිපාදන, අදාළ ව්‍යාපෘති සඳහා ඵලදායීව යෙදවීම තුළින් මෙම වසරේ මෙරට අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්කය වූ සියයට 3ක 4ක මට්ටමට පහසුවෙන් ළඟා විය හැකි බැවින් අදාළ ව්‍යාපෘති ඉතා සමීපව අධ්‍යයනය කරමින් ඵලදායී ලෙස ප්‍රතිපාදන යෙදවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.