කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තැන්පත් කර තිබූ බීඩි කොළ තොගයක් සොරකම් කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකුව කල්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉකුත් පෙබරවාරි මස 16 වැනිදා රාත්‍රී කාලයේදී කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය තුළ ගබඩා කර තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 150ක් අඩංගු පොලිතින් උර 05 ක් සැකකරුවන් විසින් සොරකම් කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
පොලිස් විශේෂ කාර්යංශයේ කල්පිටිය උප ඒකකයට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුවන් කල්පිටිය - සේතාවාඩිය සහ මණ්ඩලකුඩාව ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.
එම සැකකරුවන් දෙදෙනා අධික ලෙස මත් කුඩු පානයට ඇබ්බැහි වී සිටින පුද්ගලයින් බව පොලීසිය පැවසුවා.
එම එක් සැකකරුවෙකු පමණක් පසුගිය වසර තුළ සොරකම් 15ක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් ගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව ඔවුන් විසින් සොරකම් කරන ලද බීඩි කොළ තොගය අලවි කර තිබියදී පොලීසිය විසින් සොයා ගෙන ඇති බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.