Monday, March 10, 2025

General line - 0115112241

ගිනිඅවි හතක් සමඟ සැකකරුවන් හයක් අත්අඩංගුවට



දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකල වැටලීම්වලදී ගිනි අවි හතක් සමඟ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රිවෝල්වර් අවියක් සමඟ මන්ඩකන්ද ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය පොලීසිය විසින් සිදුකල වැටලීමකදීයි.

එහිදී ටී-56 වර්ගයේ පතරොම් යෙදිය හැකි රිවෝල්වර් අවියක් සහ ටී-56 පතරොම් 03ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44ක් වන මන්ඩකන්ද, කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

මේ අතර දඹගල්ල, කොල්ලාදෙනිය ප්‍රදේශයේදී දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන ඌව ගංගොඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම උළුක්කුලම, පාවක්කුලම ප්‍රදේශයේදී උළුක්කුලම පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකල වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 27 හා 32 වයස්වල පසුවන පාවක්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.

කොටවෙහෙර, ගල්ලෑගොඩ ප්‍රදේශයේදී ද කොටවෙහෙර පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙරට නිශ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 56ක් වන ගල්ලෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර කඩවත, ඇල්දෙණිය ප්‍රදේශයේදී ද පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී ඇල්දෙණිය සුවසෙත උයන ආසන්නයේ ඇති විදුලි සංඥා කුළුණක් ආසන්නේ ඇති ලඳු කැලෑවක සඟවා තිබූ මිලි මීටර්  09 වර්ගයේ ගිනි අවියක් හා මිලි මීටර් 09 වර්ගයේ පතරොමක් සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම අවිය එම ස්ථානයේ සැඟවූ පුද්ගලයින් සොයා කඩවත පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.