Wednesday, March 12, 2025

General line - 0115112241

අගමැතිනියගේ නම විකුණා මුදල් ගරන ජාවාරමක්



අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ නම භාවිත කරමින් සිදුවන වංචනික ක්‍රියාවලියන් පිළිබඳ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසන්නේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ මේ වනවිට  ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාර පිළිබඳ වංචනික දැන්වීම් දැඩි ලෙස හෙළා දකින බවයි. 

මෙම වංචනික දැන්වීම් සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරමින් මෙරට ජනතාව නොමඟ යැවීම සිදු කරන්නේ විදේශීය ආයතන විසින් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ. එම කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ අනෙකුත් ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික පුද්ගලයින්ගේ නම් භාවිත කරමින් මෙම වංචාසගත ප්‍රචාරණ සිදු කරමින් ඇති බවයි.

ලිතුවේනියාවේ සිට ක්‍රියාත්මක කරන මෙම වංචනික ගිණුම් මගින් සිදු කරන මෙම වංචනික දැන්වීම් සහ ප්‍රවර්ධනයන් ශ්‍රී ලංකාවේ ෆෙස්බුක් භාවිතා කරන්නන් ඉලක්ක කරමින් සක්‍රියව ක්‍රියාත්මක වෙමින් තිබෙන බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.

විශේෂයෙන්ම රජයේ නිලධාරීන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ අනුමැතිය ඇතැයි අසත්‍ය ලෙස ප්‍රකාශ කරන ක්‍රිප්ටෝ මුදල් ආයෝජන ප්‍රවර්ධනය කරන ඔන්ලයින් දැන්වීම්වලින් අතිශයින් ප්‍රවේශම් වන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

කිසිදු රජයේ නිලධාරියෙකු හෝ අමාත්‍යාංශයක් කිසිදු ක්‍රිප්ටෝ මුදල් ආයෝජන යෝජනා ක්‍රමයක් අනුමත කර නැහැ.

එමෙන්ම වාර්තා සහ ඉවත් කිරීමේ ඉල්ලීම් තිබියදීත්, මෙම වංචාවන් සමාජ මාධ්‍ය වේදිකාවල දිගින් දිගටම දක්නට ලැබෙන බවත් වංචනික දැන්වීම් ඵලදායී ලෙස මැඩපැවැත්වීමට ෆෙස්බුක් හි ඇති නොහැකියාව පිළිබඳ බරපතල සැකයක් සහ කනසල්ලක් ඇති වී තිබෙන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

අන්තර්ජාලය මගින් සිදු කරන වංචාවන්ගෙන් මහජනතාව ආරක්ෂා කිරීමට කැපවී ක්‍රියාකරමින් පවතිනවා.

මෙම ගැටලුව විසඳීමට අදාළ බලධාරීන් සමඟ දිගටම කටයුතු කරන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් දන්වා ඇත්තේ.