Tuesday, April 22, 2025

General line - 0115112241

බැංකොක් හි ගොඩනැගිල්ලක් කඩා වැටීමේ සිද්ධියට චීන ජාතිකයෙක් අල්ලයි



තායිලන්තයට ඉකුත් මාර්තු 28 බලපෑ භූමිකම්පාවේදී කඩා වැටුනු බැංකොක් නුවර ඉදිකෙරෙමින් පැවැති කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමට වගකිව යුතු ඉදිකිරීම් සමාගමේ චීන විධායකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

තායිලන්තයේ විශේෂ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ඉකුත් සෙනසුරාදා චීන ජාතික ෂැං චුවාන්ලිං නමැත්තා එලෙස අත්අඩංගුවට ගෙන ඇත. 

ඔහු චීන ඉදිකිරීම් සමාගමක තායිලන්තයට අයත් අනුබද්ධිත ආයතනයක සේවය කර ඇති අතර ගොඩනැගිල්ල කඩා වැටීම සම්බන්ධයෙන් වන චෝදනාවට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු මත අවශ්‍යව සිටි පුද්ගලයන් හතර දෙනාගෙන් කෙනෙකි.

සමාගම විසින් බැංකොක් හි චතුචක් දිස්ත්‍රික්කයේ තට්ටු 30 කින් යුත් රාජ්‍ය විගණන කාර්යාල මූලස්ථානය ඉදිකරමින් සිටි අතර, මාර්තු 28 වන දින මධ්‍යම මියන්මාරයට බලපෑ විශාල පරිමාණයේ භූමිකම්පාවකින් එය කඩා වැටුණි.

තායිලන්ත ජාතිකයින් වන අනෙක් සැකකරුවන් තිදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව බැංකොක් පෝස්ට් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

සෙනසුරාදා, බැංකොක් මෙට්‍රොපොලිටන් පරිපාලනය පැවසුවේ කඩා වැටීමෙන් 103 අනතුරට ලක්වූ බවයි. 

ඔවුන්ගෙන් 9 දෙනෙකු තුවාල ලැබූ අතර, 47 දෙනෙකු මිය ගිය බව තහවුරු වී ඇති අතර තවත් 47 දෙනෙකු අතුරුදහන් වී ඇත.