Sunday, April 27, 2025

General line - 0115112241

කොටිකාවත්තේ නිවසකින් කෝටි 80ක මත්ද්‍රව්‍ය සොයා ගැනේ

බිමල් ශ්‍යාමන්



කොටිකාවත්ත, නාගහමුල්ල ප්‍රදේශයේ නිවසක තිබූ රුපියල් කෝටි 80කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. 

ඒ, එම නිවස මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට මාලඹේ පොලීසියට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි. 

ඒ අනුව එම නිවසේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 13යි ග්‍රෑම් 372ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3යි ග්‍රෑම් 580ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. 

අදාළ නිවස පරික්ෂා කිරීමේදී කාමරයක් තුළ ගමන් මල්ලක බහා තිබූ එම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා. 

හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 13ක සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 2ක් තුළ අසුරා තිබූ බවයි පොලීසිය පැවසුවේ. 

නිවසේ සිටි පුද්ගලයෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලදී, ඔහු විසින් මහර ප්‍රදේශයේ ‘මොරින්’ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුකුගේ නමක් සඳහන් කළ බව පොලීසිය පැවසුවා. 

ඒ අනුව වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගන්නා බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.