Tuesday, April 29, 2025

General line - 0115112241

ට්‍රම්ප්ට අභියෝග කරමින් කැනඩාවේ බලය ලිබරල් පක්ෂයට



කැනේඩියානු මහ මැතිවරණය ජය ගැනීමට මාර්ක් කර්නිගේ නායකත්වයෙන් යුතු ලිබරල් පක්ෂය සමත් වී තිබෙනවා. 

ඒ, කන්සර්වේටිව් පක්ෂය පරාජයට පත් කරමින්. 

කෙසේවෙතත් ඡන්ද ගණන් කිරීම තවදුරටත් සිදු වනවා.

එහෙත් දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ආසන ලෙස හඳුන්වන මැතිවරණ දිස්ත්‍රික්ක 167ක් ජය ගැනීමට ලිබරල් පක්ෂය සමත් වී ඇති අතර කොන්සර්වේටිව් පක්ෂය දිනාගෙන ඇත්තේ මැතිවරණ දිස්ත්‍රික්ක 145ක් පමණයි. 

වෙනත් පක්ෂයක සහාය නොමැතිව ආණ්ඩුව පාලනය කිරීමට නම් ලිබරල් පක්ෂයට මන්ත්‍රී ආසනවලින් 172ක් දිනාගත යුතු වනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කැනඩාව සම්බන්ධයෙන් පළකල අදහස් හා බදු පිළිබඳ කැනේඩියානු ජනතාව අතර ඇති වූ විරෝධය මෙම මැතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් වුණා. 

හිටපු මහ බැංකු අධිපතිවරයෙක් වූ මාර්ක් කර්නිගේ ජයග්‍රහණයට එයද හේතුවක් වන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ජයග්‍රහණයෙන් පසු මාර්ක් කර්නි පවසා ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවශ්‍ය වූයේ කැනඩාව බිඳ දමා සිය රට අත්පත් කර ගැනීමට බවයි. 

නමුත් දැන් එය කිසිවිටෙකත් සිදු නොවනු ඇතැයි ඔහු අවධාරණය කර තිබෙනවා.