Saturday, April 27, 2024

General line - 0115112241

රට පුරා පච්චා සීඝ්‍රයෙන් ප්‍රචලිත වෙයි – සෞඛ්‍ය පරීක්ෂකවරු අවදානමක් පෙන්වයි




රට පුරා සීඝ‍්‍රයෙන් ප‍්‍රචලිත වෙමින් තිබෙන පච්චා කෙටීම විධිමත් නියාමනයක් නොමැති වීම නිසා ප‍්‍රබල සෞඛ්‍ය තර්ජනයක් වී ඇතැයි ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ මේ වන විට විශාල පිරිසක් මෙම කර්මාන්තය සඳහා යොමු වී ඇති බවයි. එමෙන්ම විශාල පාරිභෝගික පිරිසක්ද මෙම සේවා ලබා ගැනීමට පැමිණෙන බවද සඳහන් කළා. එහෙයින් මෙහිදී භාවිතා කරන උපකරණ හරහා යම් යම් රෝග බෝවීමේ අවධානමක් පවතන බවද පැවසුවා. එමෙන්ම සේවය ලබා දෙන්නාගේ යම් යම් රෝග සේවා ලබන්නාට බෝ වීමේ අවධානමක්ද හඳුනාගෙන ඇති බවත් පෙන්වා දුන්නා.

මෙම සෞඛ්‍ය තර්ජන සැලකිල්ලට ගෙන පච්චා කෙටීම නියාමනය කිරීම සඳහා විධිමත් නීති හා ආයතන ඇති කළ යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. දැනට මෙරට තුළ එවැනි ක්‍රමවේදයක් නොමැති බවත් සඳහන් කළා. ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සතු බලතලවලින් මෙම ක්ෂේත්‍රය සඳහා ක්‍රියාමාර්ග ගැනීමට හෝ පාලනය කිරීමට නොහැකි බවත් පැවසුවා.

පච්චා කෙටීම දිගු ඉතිහාසයක් සහිත කර්මාන්තයක්. මෑත කාලයේදී එහි ප‍්‍රබල වෙනස්කම් සිදුවී ඇති අතර මේ වන විට එය රූපලාවණ්‍ය කලාවක් ලෙස ද වර්ධනය වී තිබෙනවා.