Friday, April 26, 2024

General line - 0115112241

පිංකම් මාලාවේ පළමු වැඩසටහන සාර්ථකව අවසන් (UPDATE)




අරණායක සාමසර කන්ද නායයාමෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිසට පිං පැමිණවීම සහ විපතට පත්වූවන්ට කායික සහ මානසික සුවය ප‍්‍රාර්ථනා කරමින් සංවිධාන කරන පිංකම් මාලාවේ පළමු වැඩසටහන අද සාර්ථකව අවසන් වුණා.

මෙම පිංකම් මාලාව සංවිධාන කරන්නේ නෙත් එෆ්.එම් රේඩියෝව සහ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය එක්වයි.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳ මෙලෙස කරුණු දැක්වූවා.

…………………………………………………………………

අරණායකට කායික සහ මානසික සුවය පතයි (UPDATE)

අරණායක සාමසර කන්ද නාය යෑමෙන් මියගිය පිරිසට පිං පැමිණවීම සහ විපතට පත්වූවන්ට කායික සහ මානසික සුවය ප‍්‍රාර්ථනා කිරීම සඳහා නෙත් එෆ්.එම් රේඩියෝව සහ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය එක්ව සංවිධාන කරන පිංකම් මාලාවක් අද (17) ආරම්භ වුණා.

එ් අරණායක දී පැවති අසිරිමත් පිණ්ඩපාත චාරිකාවකින්.

(එහි තොරතුරු පිළිබඳව නෙත් නිවුස් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර ගෙන ආ වාර්තාව පහතින් අහන්න.)

අරණායක සාමසර කන්ද නාය යෑමෙන් මියගිය පිරිසට පිං පැමිණවීම සහ විපතට පත්වූවන්ට කායික සහ මානසික සුවය ප‍්‍රාර්ථනා කිරීම සඳහා තවත් පිංකම් කිහිපයක් ඉදිරි දිනවලදී ද පැවැත්වෙනවා.


 

අරණායකට සියක් නමක්

(Jul 17, 2016 @ 06:01)

අරණායක සාමසර කන්ද නාය යෑමෙන් මියගිය පිරිසට පිං පැමිණවීම අරමුණු කර ගනමින් නෙත් එෆ්.එම්. රේඩියෝව සහ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය එක්ව සංවිධාන කරන විශේෂ පිංකම් මාලාවක් අද (17) පැවැත්වෙනවා.

එ් අරණායක ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ සඳහන් කළේ සියයකට අධික පූජනීය මහා සඟරුවන මෙත් සිතින් යුතුව අරණායක නරග මධ්‍යයේ සිදු කරනු ලබන පිංඩපාත චාරිකාවකින් අද පෙරවරුවේ මෙම පිං පැමිණවීමේ කටයුතු ආරම්භ කෙරෙන බවයි. ඉන් අනතුරුව අරණායක මධ්‍ය මහා විද්‍යාලයේදී අනෙකුත් කටයුතු සිදු කෙරෙන බවත් සඳහන් කළා.

අරණායක සාමසර කන්ද නාය යෑමෙන් සිදු වූ ඛේදවාචකයට අදට දෙමසක් සපිරෙනවා. මෙම ඛේදවාචකය සිදු වූයේ ඉකුත් මැයි මස 17 වැනිදායි. නාය යාමෙන් පුද්ගලයින් 140 කට වැඩි පිරිසක් අතුරුදන් වුණා. යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව දින ගණනාවක් සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී එලෙස අතුරුදන් වූවන්ගේ මළ සිරුරු කිහිපයක් සොයා ගැනුනා.

නාය යෑම සිදු වී දෙමසක් ගත වුවද අවතැන් වූවන් තවමත් කඳවුරුවල රඳවා සිටින බවයි එම ප‍්‍රදේශයේ සංචාරයක නිරත වූ නෙත් නිවුස් වාර්තාකරු සමන් විජය බණ්ඩාර පැවසුවේ. නාය යෑමෙන් නිවාස අහිමි වූ ගම්වැසියන් කිහිපදෙනෙකුද නෙත් නිවුස් වෙත අදහස් දැක්වූවා.

එහිදී ඔවුන් පැවසුවේ මෙම කඳවුරුවල ඉන්න ඇතමෙක් රෝගී තත්ත්වයන්ගෙන්ද පසුවෙන බවයි. තවමත් මෙම ගැටළුවලට ස්ථීර විසඳුමක් බලධාරීන් විසින් ලබා දී නොමැති බවත් ඔවුන් පැවසුවා. අවතැන් වූ ජනතාවට ආධාර බෙදාදීමේදී ද යම් යම් අක‍්‍රමිකතා සිදුව ඇති බවද ප‍්‍රදේශයේ ජනතාව පවසනවා.

කෙසේ වෙතත් කඳවුරුවල රැඳී සිටින අවතැන් වූ ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකර දීම ලබන 29 වැනිදා ආරම්භ කිරීමට නියමිත බවයි නෙත් නිවුස් වාර්තාකරු සමන් විජය බණ්ඩාර පැවසුවේ. එහිදී අරණායක වසන්තගම ප්‍රදේශයේ නිවාස 48 ක් සඳහා මුල්ගල් තැබීමට නියමිත බවයි අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සඳහන් කර ඇත්තේ.