Saturday, April 27, 2024

General line - 0115112241

කච්චතිව් මංගල්‍යය ඉන්දීය බැතිමත්හු වර්ජනය කරති 




කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය සඳහා කිසිදු ඉන්දීය බැතිමතෙකු සහභාගී නොවූ බව නාවික හමුදාව පවසනවා. 

වාර්ෂිකව පැවැත්වෙන කච්චතිව් මංගල්‍යය සඳහා මෙරට බැතිමතුන් ද ඉන්දිය බැතිමතුන්ද සහභාගි විම සාමාන්‍යයෙන් සිදුවන්නක්. 

මෙවර ද ඉන්දීය බැතිමතුන් පන්දහසකට ආසන්න පිරිසක් කච්චතිව් මංගල්‍යයට පැමිණෙනු ඇති බවටයි විශ්වාස කෙරුනේ. 

කෙසේ වෙතත් මෙවර මංගල්‍යය සඳහා කිසිදු ඉන්දීය බැතිමතෙකු සහභාගි වී සිටියේ නැහැ. 

දේශිය වල්ලම් යොදා ගනිමින් කච්චතිව් මංගල්‍යයට සහභාගි වීම තහනම් කරමින් මදුරාසි මහාධිකරණය තමිල්නාඩු ධීවරයින්ට එරෙහිව වාරණ නියෝගයක්ද පනවා තිබූ බවයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ. 

වල්ලම් යොදා  ගනිමින් දිර්ඝ මුහුදු චාරිකාවක නිරත වීම අනතුරුදායක විම හේතු කරගනිමින් මෙම නියෝගය පනවා තිබුණා. 

කෙසේ වෙතත් කච්චතිව් මංගල්‍යයට පැමිණිමේ අපේක්ෂාවෙන් ඉන්දිය බැතිමතුන් පන්දහසක් පමණ රාමේෂ්වරම් වරායට පැමිණිය ද ධීවර සංගම් ඊට බාධා කර තිබූ බවද වාර්තා වනවා.

නාවික හමුදා වෙඩි පහරින් ඉන්දීය ධීවරයෙකු මිය ගිය බවට චෝදනා එල්ල කරන කණ්ඩායම් මෙලෙස බාධා කර ඇති බවටයි සැළකෙන්නේ.  

කෙසේ වෙතත් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ප‍්‍රකාශ කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා ඉන්දියාව පාර්ශ්වයෙන්  සහය අපේක්ෂා කරන බවයි. 

නාවික හමුදාවේ දායකත්වය යටතේ කච්චතිව් දූපතේ පිහිටි දේවස්ථානය නවිකරණ කිරීමෙන් පසු වාර්ෂික මංගල්‍යය පැවති පළමු අවස්ථාව මෙයයි. ප්‍රධාන දේව මෙහෙය වෙනුවෙන් මෙරට බැතිමතුන් හයදහසක් පමණ එක් ව සිටි බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. 

බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂාව සහ සියලූ පහසුකම් නාවික හමුදාවේ මැදිහත් විමෙන් සපයා තිබුණා.