Friday, April 26, 2024

General line - 0115112241

කුණු කන්දෙන් අවතැන් වූ ජනතාවට ජනපති නියමයෙන් තවත් සහනයක්




මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් විපතට පත් පවුල් සඳහා තාවකාලික නිවාස ලබාගැනීම වෙනුවෙන් මසකට රුපියල් 50,000 බැගින් මාස තුනක කාලයක් ගෙවීමට නියමිත මුදල, එකවර එම පවුල් වෙත ලබා දෙන ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

තාවකාලික නිවාස ලබා ගැනීමේදී ගෙවිය යුතු අත්තිකාරම් මුදල් ගැටලු මඟහරවා ගැනීම මෙමගින් අපේක්ෂා කෙරෙනවා.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී යි.

කුණු කසළ කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතන සකස් කර ඇති සැලසුම් ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී නිලධාරීන් දැනුවත් කළ ජනාධිපතිතුමා, සියලු පළාත් සහකාර කොමසාරිස්වරුන්ට තමා හමුවීමට කැඳවීමක් කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නා.

තවද කැළි කසළ කළමනාකරණය වෙනුවෙන් පුහුණු සහ නිරීක්ෂණ කටයුතු සඳහා පසුගිය වසර 05 ක කාලය තුළ විදේශ ගතවූ නිලධාරීන් පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙසට ද ජනාධිපතිතුමා පරිසර අධිකාරියට නියෝග කළා.

මෙහිදී අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සඳහන් කර සිටියේ  මීතොටමුල්ල කසළ කන්දේ අවදානම මේ වනවිට පාලනයට යටත් කර තිබෙන බවත් ඉදිරි මාස දෙකක කාලය තුළ ඒ සඳහා අවසන් තීරණයකට එළැඹෙන බවත් පැහැදිළි කළා.

කසළ කළමනාකරණය වෙනුවෙන් කොළඹ නගර සභාව ඉදිරි කාලයේදී අනුගමනය කිරීමට අපේක්ෂා කරන ක‍්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අදහස් ඉදිරිපත් වූ අතර ඒ අනුව ඉදිරියේදී කසළ කඳු නිර්මාණය වීමට කිසිඳු ඉඩක් නොතබන බව ද නිලධාරීන් ජනාධිපතිතුමාට සහතික වුණා.

මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත, අනුර ප‍්‍රියදර්ශන යාපා, පාඨලී චම්පික රණවක, සජිත් පේ‍්‍රමදාස, ෆයිසර් මුස්තාෆා, සාගල රත්නායක, වජිර අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රි  එස්.එම්. මරික්කාර්, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් ඇතළු අමාත්‍යාංශ ලේකම්වරු, ත‍්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.