Friday, April 26, 2024

General line - 0115112241

මාලිංග සහ බුම්රා එක්ව මුම්බායි පිලට IPL කිරුළ ගෙන එයි




එක් ලකුණක තියුණු ජයග‍්‍රහණයක් සමඟ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2017 අයි පී එල් ශූරතාව දිනා ගැනීමට ඊයේ (21) රාත‍්‍රියේ සමත් වුණා. 

ඒ, අවසන් මහා තරගයේ දී රයිසින් පුනේ කණ්ඩායම පරාජයට පත් කරමින්. 

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20දී කඩුලූ 08ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 129ක් පමණයි. 

ලකුණු 79කට කඩුලූ 07ක් බිඳ වැටී තිබු අවස්ථාවේ පිටියට පිවිසි කෘනාල් පාන්ඩයා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවූවා. පන්දු 38ක දී ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 47ක්. 

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ රයිසින් පූනේ කණ්ඩායමට පන්දුවාර 20දී කඩුලූ 06ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 128ක් පමණයි. 

නායක ස්ටීව් ස්මිත් පන්දු 50ක දී ලකුණු 51ක් රැස් කළා. තරගය ජයග‍්‍රහණය කිරීම සඳහා අවසන් පන්දුවාරයේ දී ලකුණු 11ක් රැස්කර ගතයුතුව තිබුණ ද ඔවුන්ට රැස්කර ගත හැකිවූයේ ලකුණු 09ක් පමණයි. 

පන්දු යැවීමේ දී මිචෙල් ජොන්සන් ලකුණු 26කට කඩුලූ 03ක් බිඳ හෙළු අතර ජස්ප‍්‍රිඞ් බුම්රා ලකුණු 26කට කඩුලූ 02යි. 

තරගයේ මුල සිටම පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් පන්දු යැවූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ලසිත් මාලිංග නියමිත පන්දුවාර 04දී ප‍්‍රතිවාදී කණ්ඩායමට ලබා දුන්නේ ලකුණු 21ක් පමණයි. 

මෙවර තරගාවලියේ දී මෙම කණ්ඩායම් 02ම මීට පෙර අවස්ථා 03කදී එකිනෙකා මුණගැසී තිබූ අතර එම සෑම අවස්ථාවකදීම ජය හිමිව තිබුණේ රයිසින් පූනේ කණ්ඩායමට වීම විශේෂත්වයක්. 

ඊයේ රාත‍්‍රියේ 2017 අයි පී එල් කිරුළ දිනාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙකු වන මහේල ජයවර්ධනයි. 

ඔහු මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ පළමු අවස්ථාව ද මෙය වනවා.