Saturday, April 27, 2024

General line - 0115112241

බෞද්ධයින්  නරුමයන්  බව පෙන්වන්න හදන 'වාර්තා ගැන' නියෝජ්‍ය ඇමති කතා කරයි 




තනි තනි පුද්ගලයන් විසින් ඇති කරන හුදකලා සිද්ධීන් ආගමික ගැටුම් ලෙස අර්ථ නිරූපණය කිරීමට ඇතමුන් කටයුතු කරන බවත් ආගමික ගැටුම් නිර්මාණය කරන්නේ එවැනි අසත්‍ය වාර්තා සකස් කරන පුද්ගලයන් බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.
 
මෙවැනි ආගමික ගැටුමක් ඇති විය හැකි අවස්ථාවක සංවේදී වී පපුවෙන් හිතනවාට වඩා ඔලුවෙන් කල්පනා කර වැඩ කටයුතු කළ යුතු බවයි  නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.

යම් යම් අන්තවාදී පිරිස්වල ක්‍රියාකාරකම්  සමස්ත බෞද්ධ ජනතාවට පැටවිය නොහැකි බව හෙතම පෙන්වා දෙනවා.
 
ගංවතුරින් පිඩාවට පත් ප්‍රදේශවල පෙර පාසල් ළමුන්ට අවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනකට සහභාගිවීමෙන් පසුව මාධ්‍යවේදීන් නැගු ප්‍ර‍ශ්න වලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ ද සඳහන් කළා.
 

 
“ආගමික ගැටුමක් පවතී නම් අප බෞද්ධයන් විදියට අපි හැමෝම මුස්ලිම් ක්‍රිස්තියානි වැනි අන්‍යාගමිකයන් සමග ගැටුම් ඇති කර ගන්න ඕන. ඒත් රටේ ඒ වගේ තත්වයක් නැහැ. එවැනි තත්වයක් නොමැතිව අප සියලුදෙනාම  කිසිම භේදයක් නැතිව එක්ව සිටිනවා. එසේ නම් මේ සිදුවී තිබෙන්නේ යම් යම් අන්තවාදී කණ්ඩායම් අවශ්‍යතා ක්‍රියාත්මක වීමක්.
 
දැන් එක එක සංවිධාන විවිධ වාර්තා සකස් කරනවා. සංවිධානාත්මක ලෙස පල්ලිවලට පහරදුන්නා කියලා වාර්තා හදනවා. සිවිල් සංවිධාන නියෝජිතයින් එක් ආගමික කණ්ඩායමක් විසින් සකස් කළ වාර්තාවක් ඉදරිපත් කරනවා. මේ වාර්තාවල තිබෙන සිදුවීම් ගැන කාදිනල්තුමන් පැහැදිළිව අදහස් දක්වා තිබුණා. ඒ වාර්තාවේ තිබෙන ආකාරයේ පල්ලිවලට පහරදීම් පිළිබද කතෝලික සභාවට වාර්තා නොවූ බව උන්වහන්සේ පවසා තිබෙනවා. සමහර පළාත්වල ආගම ප්‍රචාරය කරන්න යන කණ්ඩායම් සම්බන්ධයෙන් යම් යම් දේවල් සිදුවෙලා තිබෙනවාද කියලා දන්නේ නැති බව උන්වහන්සේ පවසා තිබෙනවා. 
 
යම් යම් පිරිස් කණ්ඩායම් තනි තනි පුද්ගලයින් කරන හුදලකා සිද්ධීන් සමස්ත බෞද්ධ ජනතාව මත පටවන්න බැහැ. බෞද්ධයින් කියන්නේ නරුම  පිරිසක් කියලා පෙන්වන්න හදන වාර්තාවන් අපිට පිළිගන්න බැහැ.
 
බොරු වාර්තා හදන අය තමයි රටේ තියෙන ආමික සංහිදියාව නැති කරනනේ. පල්ලිවලට ගහපු සිදුවීම් එකසිය හැටක් විතර තියෙනවා කියලා වාර්තා හදලා ඉදිරිපත් කළාට පොලීසියට ලැබී තිබෙන්නේ එවැනි සිදුවීම් ගැන පැමිණිලි දාහතරක් පමණයි. අනෙක් සිදුවීම් ආගමික ගැටුම් කියන්න බැහැ. පොලීසියට ලැබී තිබෙන සිදුවීම්වලින් දහයක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් සිදුවීම් හතරක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙනුත් පරීක්ෂණ පවත්වලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා."