Friday, April 26, 2024

General line - 0115112241

විද්‍යුත් ඡන්ද ක්‍රමය ලංකාවටත් - අද පාර්ලිමේන්තුවේ පළමු ඡන්දයට වෙච්ච දේ

සමන්ත කුමාර




ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට විද්‍යුත් ඡන්ද ක්‍රමය යටතේ ඡන්දය ලබා දීම අද (25) සිදු කෙරුණා.

මෙය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂි අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ.

ඒ අනුව අද  දිනයේදී මෙලෙස විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම සිදු කෙරුණේ විදේශ විනිමය පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සම්බන්ධයෙන්.

ඒ අනුව එම පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

කතානායක කරු ජයසූරිය ඒ ආවස්ථාවේදී පාර්ලිමේන්තුවේ මුලසුන දැරූ අතර මන්ත්‍රි අසුන ඉදිරියේ සවි කර තිබූ විද්‍යුත් සලකුණු පුවරුවෙන් ඡන්දය ලබා දීම සිදු කෙරුණා.

මෙහිදී විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ ඇමති විජිත් විජයමුණි සොයිසා යන දෙදෙනාට පමණක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ලැබුණේ නැහැ.

පළමු වරට සිදු කෙරෙන මෙම අත්හදා බැලීමට සහය දක්වන්නැයි කථා නායකවරයා සියලු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා. ඡන්දය ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් පැහැදිලිකිරීමක් සිදු කළා.

මන්ත‍්‍රීවරුන් 94 දෙනෙකු අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දී තිබූ අතර විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 18ක් පමණයි.

ගැටලු ඇතිවීම නිසා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ ඇමති විජිත් විජයමුණි සොයිසා වාචිකව විමසීමේ දී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දෙන බව ප‍්‍රකාශ කළා. ඒ අනූව පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 96ක් හිමි වූ අතර එය සම්මත වුණේ වැඩි ඡන්ද 78කින්.