Saturday, April 27, 2024

General line - 0115112241

දික්කසාද වීමට පිරිමින්ට තිබූ අවස්ථාවක් අධිකරණය තහනම් කරයි




දික්කසාද කෙරුණු කාන්තාවන් පස් දෙනෙකු සහ මානව හිමිකම් සංවිධාන දෙකක් විසින් ගොණුකරන ලද පෙත්සමක් සැලකිල්ලට ගනිමින් කඩිනමින් දික්කසාදවීමට පිරිමින්ට අවස්ථාව ලබාදෙන ඉස්ලාමීය සම්ප‍්‍රදායක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද තහනම් කළා.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මණ්ඩලයක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගැණුනා. අදාළ තීන්දුව තුනෙන් දෙකක බෙදුනු බහුතර තීන්දුවක්. 

ප‍්‍රශ්නගත සම්ප‍්‍රදාය අනුව තලාක් යන වචනය තුන්වරක් ප‍්‍රකාශ කිරීමෙන් පමණක් සිය බිරිදගෙන් දික්කසාදවීමට පිරිමින්ට අවස්ථාව ලැබෙනවා.

ඇතැම් පිරිමින් කෙටි පණිවිඩයක්, වයිබර් හෝ වට්ස්ඇප් පණිවිඩයක් වැනි ක‍්‍රමවලින්ද තලාක් යන වචනය තුන්වරක් පවසා සිය බිරිදගෙන් දික්කසාද වී ඇති බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ. 

මෙම සම්ප‍්‍රදාය දිගු කාලයක් තිස්සේ භාවිතයට ගෙන ඇතත් එවැන්නක් ඉස්ලාමීය ෂර්යා නීතියේ හෝ කුරාණයේ සදහන්ව නොමැති බව ඉස්ලාමීය විද්වතුන් පෙන්වා දෙනවා.

බංග්ලාදේශය සහ පකිස්තානය වැනි ඉස්ලාමීය රටවල පවා අදාළ සම්ප‍්‍රදාය තහනම් කර ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.