Saturday, April 27, 2024

General line - 0115112241

ලක්ෂ විස්සක යතුරුපැදි ජාවාරමක් කොටුවෙයි (PHOTOS)                                

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




පසුගිය මාස කීපය තුල ලුණුගම්වෙහෙර ඇතුළු ප්‍රදේශ කිහිපයක රියදුරු බලපත්‍රය නොමැතිව ධාවනය කළ හැකි  යතුරුපැදි සොරා ගත් සැකකරුවන් තිදෙනෙකු සොරාගත් යතුරුපැදි 15ක් සමග ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අද (04) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය දින වලදී ලුණුගම්වෙහෙර පොලිස් වසමේ මේ ආකාරයේ යතුරුපැදි නැතිවී තිබෙන බවට ලුණුගම්වෙහෙර පොලිසියට ලැබුණු පැමිණිලි කිහිපයකට අනුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ යතුරුපැදි උකස් ගන්නා ස්ථාන කීපයක් පරික්ෂා කිරීමේදී හම්බන්තොට අන්දරවැව ප්‍රදේශයේ උකස් ගන්නා ස්ථානයක තිබී එම සොරාගන්නා ලද එක් යතුරුපැදියක් සොයාගත් පොලිසිය එය උකස් කළ තැනැත්තා සොයා ගෙන ඒ අනුව පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඒ අනුව සොරාගත් යතුරුපැදිය උකස්කළ පුද්ගලයා බුත්තල වානමංකඩ පදිංචි ලුණුගම්වෙහෙර උනාතුවැව ප්‍රදේශයේ ඌරු කොටුවක කම්කරුවෙකු ලෙස සේවයකරන වයස අවුරුදු 32ක තැනැත්තෙක් බව පොලිසිය අනාවරණය කර ගැනීමෙන් පසු අද උදෑසන ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු යතුරුපැදි සොරකමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු හා සොරාගත් අනෙක් යතුරුපැදි බුත්තල ප්‍රදේශයේ උකස්කර ඇති හා  විකුණු ස්ථාන පිළිබඳව ඔහු විසින් පොලිසිය පවසා තිබෙනවා.

සැකකරුගෙන් ලබා ගත් තොරතුරුවලට අනුව බුත්තල ස්ථාන කිහිපයකට විකුණූ හා උකස් කර ඇති යතුරු පැදි හා සොරකමට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනා බුත්තල මුස්ලිම් ගම්මානයෙන් හා පැලවත්ත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

එම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 24 හා 33 හැවිරිදි වියේ පසුවන්නන් වන අතර එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වනවා.

මෙසේ සොයාගත් යතුරුපැදි, සැකකරුවන් විසින් ලුණුගම්වෙහෙර, වීරවිල, තිස්සමහාරාම, හම්බන්තොට, බුත්තල, කතරගම යන ප්‍රදේශයන්ගෙන් සොරාගත් බවයි සැකකරුවන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම සොරාගත් යතුරුපැදි වල වටිනාකම රුපියල් ලක්ෂ 20ක් පමණ වන බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 වනදා තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.