Sunday, October 20, 2024

General line - 0115112241

රුසියාවට තේ යැවූ සමාගමෙන් කරුණු විමසයි (UPDATE)

තරංග රුක්ෂාන් ජයසේකර




රුසියාව විසින් ශ‍්‍රී ලංකාවේ තේ ලබා ගැනීම තහනම් කිරීමේ ගැටළුවට පාදක වූ තේ තොගය යැවූ සමාගම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක නෙත් නිවුස් වෙත කියා සිටියේ තේ තොගය යැවීමේ ක‍්‍රියා පටිපාටිය සහ එය සිදු වූ ආකාරය පිළිබඳ අද (18) දිනයේ අදාළ සමාගමෙන් කරුණු විමසන බවයි.

විධිමත් පූර්ණ පරීක්ෂණයකින් පසු අදාළ සමාගම වැරදිකරු වුවහොත් ඔවුන්ගේ අපනයන බලපත‍්‍රය තහනම් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද ඊයේ (17) අවධාරණය කළා. 

ශී‍්‍ර ලංකාවේ විශාලතම තේ ගැණුම්කරුවා වන රුසියාව විසින් මෙරට තේ සඳහා පැනවූ තහනම අද සිට බලාත්මක කරන බව රුසියානු කෘෂිකාර්මික බලධාරීන් ඉකුත් සිකුරාදා පැවසුවා. එහෙත් ඒ පිළිබඳ නිල වශයෙන් මේ දක්වා කිසිඳු දැනුම්දීමක් සිදු කර නොමැති බවයි තේ පර්යේෂණ ආයතනයේ සභාපති ආචාර්ය ජයන්ත ගවරම්මන අද උදෑසන නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

ශී‍්‍ර ලංකාවට අමතරව ඉන්දියාව, කෙන්යාව, චීනය හා වියට්නාමය යන රටවලින් ද රුසියාවට තේ අපනයනය කරනවා. ශ‍්‍රී ලංකාව අපනයනය කරන තේවලින් සියයට 25 ක්ම මිලදී ගන්නේ රුසියාවයි.  

 

-----------------------------------

ඇමතිවරු රුසියාවට යාම ප‍්‍රමාද වෙයි - තේ තහනම බලාත්මක වෙයි

(18-12-2017 05:28)

 

ශී‍්‍ර ලංකාවේ විශාලතම තේ ගැණුම්කරුවා වන රුසියාව විසින් මෙරට තේ සඳහා පැනවූ තහනම අද (18) සිට බලාත්මකවීමට නියමිතයි.

මෙම තහනමට හේතු වුයේ රුසියාවට යැවු තේ බහාලූමක සිටි තේ කර්මාන්තයට මෙන්ම කෘෂි කර්මාන්තයටද හානිදායක කෘමියෙකු හමුවීමයි.

ඒ අනුව ශී‍්‍ර ලංකාවේ තේ මිළදි ගැනීම තාවකාලිකව අත්හිටුවීමටයි රුසියාව තීරණය කළේ. මෙම තේ තොගය රුසියාවට යවනු ලැබ ඇත්තේ පෞද්ගලික සමාගමක් විසින්. ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය පැවසුවේ අදාළ බහාලූම ශී‍්‍ර ලංකාවට අයත් එකක් නොවන බවයි. 

ශී‍්‍ර ලංකාව අපනයනය කරන තේවලින් සියයට 25 ක්ම රුසියාව මිළදී ගන්නා අතර එරට මුළු තේ අවශ්‍යතාවයෙන් සියයට 23 ක් සම්පූර්ණ කරන්නේ ශී‍්‍ර ලංකාවයි.

වාර්තාවලට අනුව මේ වසරේ පළමු මාස 9 තුළ රුසියාවට අපනයනය කර ඇති තේ ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් මිලියන 25 ක්. එමගින් 
ශී‍්‍ර ලංකාව උපයාගත් ආදායම රුපියල් බිලියන 19කට ආසන්නයි.

මෙම තහනම ඉවත් කර ගැනීම සඳහා කඩිනමින් කටයුතු කරන බවයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසුවේ. ඒ අනුව රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් වෙත අද දිනයේ ඊට අදාළ ඉල්ලීම සිදු කරමින් ලිපියක් යැවීමට අපේක්‍ෂා කරන බවද ප‍්‍රකාශ කළා. 

මේ අතර ගැටළුව විසඳා ගැනීම සඳහා අමාත්‍ය නවීන් දිසානායක සහ රිෂාඞ් බදියුදීන් ඊයේ (17) රාති‍්‍රයේ රුසියාව බලා පිටත්කර හැරීමටයි මීට පෙර තීරණය වී තිබුණේ. 

එහෙත් නෙත් නිවුස් කළ විමසීමකදි අමාත්‍ය නවීන් දිසානායක පැවසුවේ පළමුව තාක්‍ෂණික කණ්ඩායමක් රුසියාව බලා පිටත් කර හරින බවයි. ඒ අනුව රුසියාව බලා යවන තාක්‍ෂණික කණ්ඩායම කවුරුන්දැයි අද (18) දිනයේ තීරණය කරන බවද අමාත්‍යවරයා පැවසුවා. තාක්‍ෂණික කණ්ඩායමෙන් ලබාගන්නා තොරතුරු මත පසුව අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් රුසියාව බලා යන බවයි අමාත්‍ය නවීන් දිසානායක වැඩිදුරටත් කියාසිටියේ. තේ පමණක් නොව ශී‍්‍ර ලංකාවෙන් අපනයනය කරන සියලූ කෘෂි බෝග රුසියාව විසින් තහනම් කරනු ලැබ ඇති බවද මෙහිදී අවධාරණය කෙරුණා. 

(මේ සම්බන්ධයෙන් පළ වූ අනෙක් පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න.. )