Sunday, October 20, 2024

General line - 0115112241

'තේ කුරුමිණියා' සාකච්ඡා ඇරඹෙයි (UPDATE)

සජිත් තිලකරත්න/තරංග රුක්ෂාන් ජයසේකර




ශ‍්‍රී ලංකාවේ තේ සඳහා රුසියාව පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට අදාළ සාකච්ඡා මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ, රුසියාවේ මොස්කව් නුවරදීයි.

එම සාකච්ඡාවලට සහභාගී වීම සඳහා ශ‍්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු තාක්ෂණික කමිටුවක් ඊයේ (24) රුසියාව බලා පිටත්ව ගියා.

ඒ අනුව ඔවුන් සහ රුසියාවේ ශාඛ නිරෝධායන ඒකකයේ නිලධාරීන් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි ඒ සඳහා සහභාගී වී සිටින ශ‍්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ කෘමි රෝග විශේෂඥ ආචාර්ය කීර්ති මොහොට්ටි නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, තේ මණ්ඩලයේ සභාපතිවරයා, තේ මණ්ඩලයේ කොමසාරිස්වරයා, තේ මණ්ඩලයේ පර්යේෂණාගාරයේ අධ්‍යක්‍ෂවරයා සහ තේ පර්යේෂණ ආයතනයේ කෘමි රෝග විශේෂඥවරයා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡා සඳහා එක්ව සිටිනවා. 
 

----------------------------------------------

'තේ කුරුමිණියා' සාකච්ඡාව සූදානම්

(25-12-2017 06:02)

මෙරට තේ සඳහා තහනමක් පැනවීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සහ රුසියානු බලධාරින් අතර සාකච්ඡා අද (25) ආරම්භ වනවා.

අද, හෙට (26) සහ බ‍්‍රහස්පතින්දා (28) එම සාකච්ඡා පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ. 

රුසියාව ශ‍්‍රී ලංකාවේ තේ සඳහා මෙම තහනම පැනවීමට හේතු වූයේ මෙරටින් යැවූ තේ බහාලූමක සිටි කප්රා නැමැති කුරුමිණයෙකු සොයා ගැනීමයි. රුසියාව යනු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම තේ ගැණුම්කරුවා වනවා. ශ‍්‍රී ලංකාව අපනයනය කරන තේවලින් සියයට විසි පහක්ම මිලදී ගන්නේද රුසියාවයි. 

ඒ අනුව, රුසියාව පැනවූ මෙම තහනම මෙරට තේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවටයි ප‍්‍රකාශ කෙරුණේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද ඉකුත්දා ප‍්‍රකාශ කළේ මෙම තහනම ඉවත් කර ගැනීම සඳහා කටයුතු කරන බවයි. ඒ අනුවයි ශ‍්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායමක් ඊයේ රුසියාව බලා පිටත්ව ගියේ.

මෙම කණ්ඩායමට අයත් සාමාජිකයින් සංඛ්‍යාව 9ක්. වැවිලි හා කෘෂිකර්ම යන අමාත්‍යංශවල අතිරේක ලේකම්වරුන් දෙදෙනෙක්, තේ මණ්ඩලයේ නියෝජිතයන් තිදෙනෙක්  හා තේ පර්යේෂණ ආයතනයේ නිලධාරියෙක් ද ඒ අතරට අයත්. ශ‍්‍රී ලංකාව සහ රුසියානු නියෝජිතයන් අතර සාකච්ඡාව අද ආරම්භ වීමට නියමිතව ඇත්තේ එරට වේලාවෙන් උදෑසන 10.00ටයි.

අද සිට ආරම්භ වන මෙම සාකච්ඡාවේ අපේක්ෂාවන් පිලිබඳ නෙත් නිවුස් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජේ. ඒ. රංජිත්ගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ මෙම සිදු වූ බව කියන සිද්ධියේ ඇත්ත තත්ත්වය කුමක්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමත්, තාවකාලිකව පනවා ඇති තේ තහනම ඉවත් කරවා ගැනීමට කටයුතු කළ යුතු ආකාරය සහ ඉදිරියේ දී මෙවැනි ගැටලු ඇති නොවන අයුරින් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව වැනි කරුණු ගැන සාකච්ඡා කරන බවයි. 

මෙම සාකච්ඡාවේදී දක්වන ප‍්‍රතිචාර මත ඉදිරියේදි අමාත්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් රුසියානු බලධාරින් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ. 

(මේ පිළිබඳව මීට පෙර පළ වූ පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න..)