Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකාවේ CIA හා FBI බුද්ධි අංශ නිරුවත් කල බ්‍රිතාන්‍ය තරුණයා මෙන්න (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




අමෙරිකානු මධ්‍යම බුද්ධි ඒකකය (CIA) , ෆෙඩරල් බියුරෝ කාර්යාංශය (FBI) සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු දහස් ගණනකගේ පෞද්ගලික ඊමේල් ගිණුම්  සහ දුරකථන අංක සොරා ගැනීමේ වැරදිකරු වූ 18 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ව එරට අධිකරණය විසින් වසර දෙකක කාලයක් තරුණ රැදවුම් මධ්‍යස්ථානයක  රදවා තබන්නැයි ඊයේ (20) නියෝග  කළා.

කෙන් ගැම්බල් නමැති මෙම 18 හැවිරිදි තරුණයා විසින් සිය නිවසේ සිට පරිඝණකය උපයෝගී කර ගනිමින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවට විමර්ශකයින් කරුණු හෙළිකර ගෙන තිබුනා.

මෙලෙස ඔහු විසින් අනාවරණය කර ගනු ලැබූ දත්ත හා තොරතුරු අතර අමෙරිකානු හමුදාවේ රහසිගත යුධ මෙහෙයුම් සහ ඒවාට සම්බන්ධව සිටින පුද්ගලයින්ගේ තොරතුරුද අඩංගුව තිබී ඇතැයි  වාර්තා වේ. 

කෙන් ගැම්බල් විසින් මේ තොරතුරු වලින් කොටසක් සුප්‍රසිද්ධ විකීලීක්ස් වෙබ් අඩවිය ඇතුළු එවැනි තවත් වෙබ් අඩවි කිහිපයක් හරහා සමාජගත කර තිබුනා.
ඔහු විසින් මෙම තොරතුරු පිට කිරීමේදී " පලස්තීනය මේ ඔබ වෙනුවෙන්" යැයි සටහනක්ද තැබීමට අමතක කර තිබුනේ නැහැ.

මෙම සිද්ධිය පිලිබඳ විමර්ශනය කරනු ලබන බලධාරීන් කියා සිටියේ කෙන් ගැම්බල් විසින් 2015  වසරේ ජුනි මස සිට 2016 පෙබරවාරි මස දක්වා කාල සීමාව තුලදී සිඅයිඒ සංවිධානයේ හිටපු ප්‍රධානි ජෝන් බ්‍රනන් සහ එෆ්බිඅයි සංවිධානයේ නියෝජය ප්‍රධානි ගුයිලියානෝ ඉලක්ක කර ගනිමින් කටයුතු කර ඇති බවයි. 

ඔහු විසින් බුද්ධි අංශ නිළධාරීන්ගේ විද්‍යුත් තැපෑල හරහා හමුදාවන්ගේ රහසිගත තොරතුරු පවා පරිශීලනය කර තිබෙන බවට කරුණු හෙළිවී තිබෙනවා. 

කෙන් ගැම්බ්ල් විසින් අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් එෆ්බිඅයි සංවිධානයේ නිලධාරින් 20,000 කගේ තොරතුරු හෙළිකර ඇති බවටද මෙහිදී කරුණු අනාවරණය වී තිබෙනවා. ඊට අමතරව අමෙරිකානු ස්වදේශීය ආරක්ෂක ලේකම් ජෙහේ ජොන්සන්ගේ නිවසේ රුපවාහිනිය හරහා ඔහුගේ බිරිඳට පණිවිඩයක් එවීමට පවා මොහු කටයුතු කල බවට අධිකරණයේ නඩු විභාගය අතර වාරයේදී  හෙලිවුනා.

අමෙරිකානු බුද්ධි අංශ ඉලක්ක කර ගනිමින් එල්ලවූ ප්‍රබලතම සයිබර් ප්‍රහාරය මෙය වන අතර මෙම සිද්ධියෙන් අනතුරුව ඔවුන්ගේ දත්ත ආරක්ෂා කිරීම උදෙසා වෙනත් ක්‍රමවේදයන් භාවිතා කිරීමට සිදුවුවා.

කෙන් ගැම්බ්ල් හට එංගලන්ත අධිකරණය මගින් වරදකරු කොට ඔහුට දඩුවම් පමුණුවන අවස්ථාවේදී ඔහු හැගීම් විරහිතව නිහඩව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.