Friday, April 26, 2024

General line - 0115112241

"දුමින්ද සිල්වා නොසිටියා නම්" - නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අධිකරණයට කරුණු කියයි

අධිකරණ වාර්තාකරු




හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුලු පුද්ගලයින් සිවු දෙනෙකු ඝාතනය කිරීමට අදාලව මරණ දණ්ඩනය නියමව ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකු ගොනු කර ඇති අභියාචන පෙත්සම්  අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩිදුර විභාගයට ගනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ පැවසුවේ මෙම ඝාතනයට අදාල සියලු සිද්ධීන් එකොළොස් වන විත්තිකරු දුමින්ද සිල්වා කේන්ද්‍ර කර ගෙන සිදු වී ඇති බවයි.

දුමින්ද සිල්වා නොසිටින්න එවැනි ඝාතන සිද්ධියක් සිදු නොවීමට තිබුණු බවත් අනෙකුත් සියලුම විත්තිකරුවන් මෙම සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ දුමින්ද සිල්වාගේ ක්‍රියා කලාපය නිසා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.

අයුතු ජන රාශියක සාමජිකයන් වීමේ සිද්ධියේ සිට ඝාතන සිදු වෙන අවස්ථාව දක්වා වූ සියලු සිද්ධීන්ට දුමින්ද සිල්වා නායකත්වය ලබා දී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද දින මෙම පෙත්සම් විභාග කිරීම සිදු කෙරුණා.

වැඩිදුර කරුණු දැක්වීම ජූලි මස 20 වැනිදාට කල් තැබුණා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුලු සිවුදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය 2015 වර්ෂයේ සැප්තැම්බර් මස 8 වැනි දා දුමින්ද සිල්වා ඇතුලු විත්තිකරුවන් පස් දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කෙරුණා.

දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචන පෙත්සමක් ගොනු කර තිබෙනවා.