Saturday, April 27, 2024

General line - 0115112241

කීඩෑ උවදුරෙන් කුඹුරු විනාශය උග‍්‍ර අතට - ආණ්ඩුවෙන් කුඹුරටම ගිහින් විසඳුමක්

තරුංග රුක්ෂාන් ජයසේකර/ නිමල් ජයරත්න/ සමන් චන්ද්‍රතිලක/ඉන්දික අරුණ කුමාර




කීඩෑ උවදුර හේතුවෙන් මෙරට කුඹුරු පද්ධතියට එල්ල වී ඇති බලපෑම තවදුරටත් වැඩි වී තිබෙනවා. ගොවි සංවිධානවල සංඛ්‍යාලේඛණවලට අනුව හානියට පත්ව ඇති කුඹුරු අක්කර සංඛ්‍යාව ලක්‍ෂයකට ආසන්නයි. රජරට සහ නැගෙනහිර කුඹුරුවලට මින් වැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ යල කන්නයේ වගා කර ඇති කුඹුරු අක්කර ප‍්‍රමාණය අක්කර එක් ලක්‍ෂ හැට දහසක්. පොළොන්නරුවේ පමණක් අක්කර ලක්‍ෂයකට පමණ මින් බලපෑම් එල්ල වී ඇති බවයි පැවසෙන්නේ. 

කීඩෑ උවදුර හේතුවෙන් විනාශයට පත්ව ඇති අම්පාර දිස්ති‍්‍රක්කයේ කුඹුරු අක්කර සංඛ්‍යාව 14,000 ක්. 

ෙඇතැම් පිරිස් වගා කර ඇති සරුවට වැඩුණු ගොයම් ඇති කුඹුරු විනාශ කර දැමීමට පවා පියවර ගනිමින් සිටින බව නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළා. 

වී වගාව පිළිබද අධ්‍යයනය කරන පරිසරවේදීන් පෙන්වා දෙන්නේ නිවැරදි සහ පාරම්පරික ක‍්‍රමවේද අනුගමනය නොකිරීම වී වගාව මෙම තත්ත්වයට පත්වීමට ප‍්‍රධාන හේතුවක් බවයි. ඊට වගකිව යුත්තේ බලධාරින් බවයි පරිසරවේදී තිලක් කන්දේගම පවසන්නේ. ඉතිහාසයෙන් නිවැරදි පාඩම් ඉගෙන ගත්තා නම් ගොවි ජනතාව අද මෙවන් පීඩාවකට පත්ව නොවන බව ඔහුගේ අදහසයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගෙන් විමසීමක් කළා. ඔහු කියාසිටියේ කීඩෑ උවදුර හේතුවෙන් පීඩාවට පත්ව ඇති ගොවි ජනතාවට කඩිනම් සහන ලබාදීමට පියවර ගන්නා බවයි. දැනට කීඩෑ උවදුර ඇති කුඹුරුවලට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වියදමින් කෘමි නාශක යෙදීමට උපදෙස් දී ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

සම්පූර්ණයෙන්ම හානියට පත් කුඹුරු පිළිබද දත්ත ලබාගැනීමෙන් පසු ඔවුන්ට ලබාදිය හැකි සහන පිළිබද කඩිනමින් පියවර ගැනීමට දැනටමත් කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියාසිටියා.