Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 480ක ආධාරයක් (UPDATE)




එක්සත් ජනපද රජයට අයත් සහශ‍්‍ර අභියෝගතා සංස්ථාව ශ‍්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8,000 කට අධික සංවර්ධන ආධාරයක් සැපයීමට සූදානම් බව එම සංස්ථාවේ ප‍්‍රධාන විධායක නිලධාරි Brock Bierman පවසා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාව ඊයේ (24) පස්වරුවේ හමුවූ අවස්ථාවේදී සහශ‍්‍ර අභියෝගතා සංස්ථාවේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා මේ බව සඳහන් කළා.

මෙම මුදල් පරිත්‍යාගයට අදාළ කෙටුම්පත දැනටමත් සකස් කර අවසන් අතර, එය ඉදිරි දිනවලදී එක්සත් ජාතීන්ගේ සෙනට් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ද Brock Bierman පවසා තිබෙනවා.

එම අනුමැතිය ලැබීමෙන් අනතුරුව එළඹෙන දෙසැම්බර් මාසයේ දී අදාළ ගිවිසුම කොළඹ දී අත්සන් තැබීමට හැකි බවද සඳහන් කර තිබෙනවා.

මෙහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වා දී ඇත්තේ එක්සත් ජනපද රජය දීර්ඝ කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකාවට ලබාදෙන සංවර්ධන සහය පිළිබඳව තම ස්තූතිය පළ කරන බවයි.

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ලබාදෙන මෙම නව සංවර්ධන ආධාරය ශ‍්‍රී ලංකාවේ මගී ප‍්‍රවාහන සේවාවේ සංවර්ධනය මෙන්ම මාර්ග තදබදය අවම කිරීමේ නව ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බව ද පෙන්වා දී තිබෙනවා.

----------------------------

ජනපති 'බලය' ගැන ලොවටම කියා දුන් පාඩම

(25-09-2018 06:00)

 

නෙල්සන් මැන්ඩෙලා ගමන් ගත් මගෙහි යාමට තමන් ලොව සියලූ නායකයින්ට ආරාධනා කරන බව ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව ඊයේ (24) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී ආරම්භ කෙරණු නෙල්සන් මැන්ඩෙලා සාම සමුඵව අමතමින්. 

නෙල්සන් මැන්ඩෙලා ජන්ම ශත සංවත්සරය සමරමින් මෙම සාම සමුඵව සංවිධානය කර තිබුණා. 

සාමය, සංහිදියාව සහ මානවවාදය පිළිබඳ ලෝකයට වැදගත් පාඩම් කියාදුන් විශිෂ්ට චරිතයක් වූ නෙල්සන් මැන්ඩෙලා චරිතය අද සියලූ ලෝක නායකයින් අධ්‍යයනය කළයුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසුවා. 

නෙල්සන් මැන්ඩෙලාගේ විශිෂ්ට චරිතය හා එම ගමන් මග සිහිපත් කිරිමට සිදුව ඇත්තේ අද ලෝකය ගමන් ගන්නේ එවන් මගක නොවන නිසා බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා බලය අතහැරීම සහ බලය සීමාකිරීම පිළිබඳ එතුමාගේ චරිතය ආදර්ශයන් රැසක් ලබාදුන් බව  සඳහන් කළා. 

සාමය පිළිබඳ ගමන් මග ලොවට කියා දුන් ශ්‍රේෂ්ට මානවවාදී චරිතයක් වූ නෙල්සන් මැන්ඩෙලා චරිතය වෙනුවෙන් මෙවන් සාම සමුඵවක් සංවිධානය කිරීම පිළිබඳ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත  ස්තූතිය පිරිනැමුවා.  

මේ අතර එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති නෙල්සන් මැන්ඩෙලා සාම සමුඵව අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දකුණු කොරියානු ජනපතිවරයා අතර හමුවක්ද සිදු වුණා.

තවද, ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අද (25) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි.