Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාව කැමති සහ අකමැති කරුණු ගැන කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කරයි

හේමන්ත කහවලගේ




මත්තල ගුවන් තොටුපලේ මගී පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ඉන්දියාවට පැවරීම සම්බන්ධයෙන් ඊයේ (23) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී තිබෙනවා. අදාළ පැවරීම වෙනුවෙන් එම ගුවන් තොටුපල ඉදි කිරීමට වැය වූ මුදලින් සියයට 60ත් 70ත් අතර ප‍්‍රතිශතයක් ශ‍්‍රී ලංකාවට ගෙවීමට ඉන්දීය බලධාරීන් කැමැත්ත පළ කර ඇති බවයි එහිදී ප‍්‍රකාශ වී ඇත්තේ.

එහෙත් එහි මෙහෙයුම් කටයුතුවලදී පාඩු සිදු වුවහොත් එය බෙදා ගැනීමට ඉන්දීය බලධාරීන් කැමැත්ත පළ කර නැහැ. 

මත්තල ගුවන් තොටුපලේ මගී පර්යන්තය ඉන්දියාවට ලබාදුන්නද ගුවන් මෙහෙයුම් කටයුතු ශ‍්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය හරහා සිදු කළ යුතු බවට වන යෝජනාවට ද ඉන්දියාව කැමැත්ත පළ කර ඇතැයි කැබිනට් මණ්ඩලයේදී ප‍්‍රකාශ වී තිබෙනවා. එහිදී අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මෙරටට පැමිණි පසු ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කළ හැකි බවයි. 

මේ අතර යෝජිත ඉඩම් බැංකුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී ඊයේ සාකච්ඡා වී තිබෙනවා. තවදුරටත් සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගත යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ.