Saturday, April 27, 2024

General line - 0115112241

ගෝඨාට එරෙහි නඩුව ගැන ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නියෝගයක් 

අධිකරණ වාර්තාකරු




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවක් ජනවාරි මස 22වැනි දා සිට දිනපතා විභාගයට ගැනීමට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (17) නියෝග කළා.

ඒ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන්. 

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා අද දින අධිකරණයේ පෙනී සිටිමින් නඩුවට අදාල ලේඛන සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළ අතර ඒ අනුව විත්ති පාර්ශ්වය ඉල්ලා ඇති බොහෝ ලේඛන ලබා දීමට කටයුතු කරන බව දැනුම් දුන්නා.

මේ අතර මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන් වන ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සේවය කළ නිළධාරීන් නඩු විභාගය ආරම්භ වීමට නියමිත කාලය තුළ විදේශ ගත වීමේ සුදානමක් ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් දැනුම් දී තිබෙනවා.

ඔවුන් විදේශ ගත වුවහොත් පැමිණිළි පාර්ශ්වයට අගතියක් විය හැකි බව වැඩිදුරටත් පැවසුවා.

ඒ අනුව මෙම නඩු විභාගය අතරතුර සාක්ෂිකරුවන් විදේශ ගත වන්නේ නම් ඒ බව අධිකරණයට දැනුම් දෙන ලෙසට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය සාක්ෂිකරුවන්ට නිවේදන මගින් දැනුම් දීමට රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝග කළා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, හර්ෂාන් ද සිල්වා, භද්‍රා උදුලාවතී, කේමින්ද ආටිගල , ඒබ්‍රහම් ගලප්පත්ති , මහින්ද සාගල සහ මල්ලිකා කුමාරි සේනාධීර යන අය අද ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පෙනී සිටියා. 

මෙම නඩුව අද දින විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ  විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණා.

අධිචෝදනා පොදු දේපල පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ  සාපරාධී විශ්වාසය කඩකිරීම, කුමන්ත්‍රණය, ඊට අනුබල දීම ආදී චෝදනා හතක් යටතේ ගොනු කර තිබෙනවා.

අධි චෝදනාවට අදාළව ලේඛන ඇතුළු නඩු භාණ්ඩ 105 ක් සහ විගණන වාර්තාවක් නීතිපතිවරයා විසින් ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ. සාක්ෂිකරුවන් 80 ක් නම් කර සිටිනවා.