Friday, April 26, 2024

General line - 0115112241

සුඩානයේ හිටපු රාජ්‍ය නිලධාරීන් රැසක් හමුදා අත්අඩංගුවේ

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සුඩානයේ අන්තර්වාර හමුදා කවුන්සිලය මගින් එරට හිටපු රජයේ නිලධාරීන් රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම නව අග්‍රාමාත්‍යවරයෙකු නම් කරන ලෙසයි අන්තර්වාර හමුදා කවුන්සිලය එරට විපක්ෂයෙන් ඉල්ලීමක් කර ඇත්තේ. විපක්ෂය තෝරා ගන්නා නායකයා හට රාජ්‍ය පාලනය ලබා ගැනීම සඳහා සහය වන බවත්, විපක්ෂයේ තීරණය ක්‍රියාවට නංවන බවටත්, අන්තර්වාර හමුදා කවුන්සිලය ප්‍රතිඥා ලබා දී තිබෙනවා. 

මේ අතර පැවැති රජයට එරෙහිව ප්‍රබල විරෝධතා දියත් කළ සුඩානයේ සිවිල් වැසියන් තවදුරටත් වීථිවලට එක් රැස්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔවුන් පවසන්නේ අන්තර්වාර හමුදා කවුන්සිලය මගින් සිවිල් පාලනයකට රට පවරන තෙක් මෙලෙස මාර්ගවල රැඳී සිටින බවයි. පොරොන්දු වු පරිදි සිවිල් රාජ්‍ය පාලනයක් බිහි කරන බැවින් එම කටයුතුවලට සහය ලබා දී විසිර ගොස් යළිත් සිය සේවා කටයුතු අරඹන ලෙස අන්තර්වාර හමුදා කවුන්සිලය එම විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීමක් කළා.

එහෙත්, මාර්ගවල රැඳී සිටින විරෝධතාකරුවන් පළවා හැරීමට කිසිඳු අවස්ථාවකදී කටයුතු නොකරන බවයි හමුදා කවුන්සිලය පවසන්නේ. එමෙන්ම පැවැති රජය මගින් පනවා තිබූ මාධ්‍ය වාරණය ඉවත් කර, දේශපාලන සිරකරුවන් ද නිදහස් කිරීමට ද අන්තර්වාර රජය තීරණය කර තිබෙනවා. සිවිල් වැසියන් දියත් කළ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හමුවේ වසර 30ක් පුරා පැවැති ඒකාධිපති පාලනය බිඳ හෙලා සුඩාන හමුදාව ඉකුත් දා රාජ්‍ය පාලනය භාර ගත්තා.