Saturday, April 27, 2024

General line - 0115112241

71ක් වතාවක් අගමැතිකම මම එපා කිව්වා... තනතුරු ගන්නේ මෙහෙම නෙමෙයි : ඇමති සජිත් ගෙන් ප්‍රකාශයක්

ඩිල්ෂාන් මඩවල




සජිත් ප්‍රේමදාස සහ රවී කරුණානයක යන අමාත්‍යවරුන් අද යළිත් එකිනෙක ගැටෙන ප්‍රකාශ සිදු කළා. මේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස. 

" අද කතා ගොතනවා. සජිත් ප්‍රේමදාස මේ කුමන්ත්‍රණ කරනවලු මේ කුමන්ත්‍රණ කරනවලු. ඔබලා මේ කටකතා වලට රැවටෙන්න එපා. 71ක් වතාවක් අගමැතිකම එපා කිව්ව කෙනෙක් මම. එකෙන් කියන්නේ අගමැති තනතුරවත් වෙනත් ඉහළ තනතුරක්වත් එපා කියන එක නෙමෙයි. ඒ තනතුරු වලට මම යන්න කැමති ජනතා ආශිර්වාදයෙන් මිසක් මේ කියනවා වගේ හොර පාරෙන් නෙමෙයි. මම කොයිම වෙලාවකවත් පක්ෂය පාවා දෙන්නේ නැහැ යැයි" මෙහිදී සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

 

අමාත්‍ය රවී කරුණානායක මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා. 

" එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන් යනවා. ඒක සුදුස්සෙක් මිසක් නුසුදුස්සෙක් අය කිසිසේත් ලඟට ගැවෙන්නේ නැහැ. අපි දැන ගන්න ඕනේ අපේ තරාතිරම මොකක්ද කියලා. අපි එක්සත් ජාතික පක්ෂය හැටියට සුදුසු කෙනා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා. නමක් තිබ්බා කියලා එකෙන් සියලු දේ විසදෙන්නේ නැහැ" යැයි මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා. 

මේ අතර සජිත් ප්‍රේමදාස සහ රවී කරුණානායක යන අමාත්‍යවරුන් අතර ඇති වී තිබෙන විවාදය එක්සත් ජාතික පක්ෂයේ දෙදරා යාමක් නොවන බව එහි මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා අවශ්‍ය අවස්ථාවේදී එකට එක්ව කටයුතු කරනු ඇති බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.  කෑගැල්ලේදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.


මේ අතර ප්‍රසිද්ධියේ ගැටුම් ඇතිකර නොගන්නැයි සජිත් ප්‍රේමදාස සහ රවී කරුණානායක යන අමාත්‍යවරුන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවවාද කර ඇතැයි අමාත්‍ය නවීන් දිසානායක පැවසුවා.  ඔහු ඒ බව පැවසුවේ නුවරඑළියේදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබා දෙමින්.