Saturday, April 27, 2024

General line - 0115112241

තිස් වසරක යුද්ධයේ "සත්‍ය කතාව" ගැන ජනපති මතක් කරයි

ලහිරු කපුගේ




තිස් වසරක යුද්ධයේ සැබෑ සත්‍ය කතාව මෙතෙක් කිසිදු ග‍්‍රන්ථයක සටහන් නොවීම කණගාටුවට කරුණක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ‘‘උත්තමාචාරය’’ ග‍්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් ඊයේ (22) පස්වරුවේ කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින්.

සාමයේ දස වර්ෂ සැමරුමට සමගාමීව ශ‍්‍රී ලංකා යුද හමුදාවේ පරම වීර විභූෂණලාභීන්ගේ වීර ක‍්‍රියාවන් සමාජයට විවර කරමින් මතු පරපුරේ පරිශීලනය සඳහා ‘‘උත්තමාචාරය’’ ග‍්‍රන්ථය එළිදැක්වුණා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ "දැනට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මම හිතන්නේ...එක්තරා සන්ධ්‍යාවක මම කිව්වා.. අසූව දශකයේ යුද්ධයේ ආරම්භයේ සිට 2009 මැයි දක්වා යුද්ධයේ අවසානය දක්වා..  යුද්ධයේ සැබෑ කතාව  ලියලා නෑ නේද කියලා. ලියලා නෑ..අදත් ලියලා නෑ. ඒ සැබෑ කතාව මේ වගේ ලියවිලා කියවන්න තියෙනවා නම් කොච්චර හොඳද."  යනුවෙනි.

යුද්ධයේ සැබෑ කතාව අද හෝ කිසියම් ග‍්‍රන්ථයකින් එළිදැක්වීම සිදු කිරීම අත්‍යවශ්‍ය බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ. 

මෙම උත්සවයේ දී සාමයේ දස වර්ෂ සමරු මුද්දරය සහ මුල්දින කවරය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදු වූ අතර ‘‘උත්තමාචාරය’’ ග‍්‍රන්ථය ශ‍්‍රී ලංකා යුද හමුදාවේ පරම වීර විභූෂණලාභීන්ගේ සමීප ඥාතීන් වෙත ද පිරිනැමීම සිදු වුණා.