Saturday, April 27, 2024

General line - 0115112241

"මේ දිනන්න ඕන ජනාධිපතිවරණයක්" : ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක කියයි (PHOTOS/ LIVE)

දිනුක් හේවාවිතාරණ




රටේ සියළු ජාතීන්ට එක්ව ජිවත් විය හැකි මානව සම්පත තුලින් ඉදිරියට යන ආර්ථිකයක් ගොඩනැගීමට තමන් බලාපොරොත්තු වන බව ජාතික ජන බලවේගයේ නව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටිනවා.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සිවිල් සංවිධාන 28ක ගේ එකමුතුවෙන් පිහිටවූ ජාතික ජන බලවේගයේ මංගල රැලියේදී පැමිණ සිටි ජනතාව අමතමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

"ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස මාව නම් කර තිබෙනවා. ජාතික ජනබල වේගයට මා ඒ ගැන ස්තුතියි කරනවා. ඔබ සියලු දෙනා මා ගැන තබා තිබෙන විශ්වාසය කිසිදා බිද නොහෙලෙන බව කියන්න කැමති. මා තඹුත්තේගම ආසන්නයේ කුඩා ගම්මානයක පාසල් අවදියේ මේ දේශපාලනයට එක් වුනා. මා වසර 30 ක් මේ දේශපාලනයේ යෙදී සිටිනවා. ජයග්‍රහණයන්, පරාජයන්, පසුබෑම් සියල්ලට මුහුණ දෙමින් මේ රටටත් මේ ජනතාවටත් යහපතක් ඇති කිරීමට අපි දේශපාලනයේ යෙදී සිටිනවා.

ජනතාවට සුභවාදී ජිවිතයක් සඳහායි අපි කැපවී සිටින්නේ. කුඩා මිනිසාගේ සිට ඉහළ දිවි පෙවතක් ගත කරන මිනිසාගේ සියලු අවශ්‍යතා අපි දන්නවා. ඒ සම්බන්ධයෙන් හොද අත්දැකීමක් තියෙනවා. මේ ගමන ජයග්‍රහණයකින් කෙළවර කරන බව මම කියන්න කැමති. මේ සටන අනිවාර්යෙන් ජයග්‍රහණයෙන් නිමකරනවා කියන්න කැමති.

මේ සඳහා මාවත් දෙකක් තියෙනවා. එක් මාවතක් තමයි පැරණි යල්පිනු, අසහනහාකාරී, විනාශකාරී මාවතයි. අනෙක් මාවත මේ වෙනකොට විවෘත කරමින් සිටිනවා. ඒ තමයි ජනතාවට සතුට, සෞභාග්‍ය කැඳවා ගෙන එන මේ අලුත් මාවත. මේ අවස්ථාවේදී අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔවුන් තෝරා ගත යුත්තේ මින් කුමන මාවතද තෝරා ගත යුත්තේ කියලා. අපි ජනතාවට ආරාධනා කර සිටිනවා මේ නිශ්චිත අවස්ථාවේදී සෞභාග්‍ය මාවත කරා එක්වෙන්න කියලා මම ආරාධනා කරනවා.

අද මේ රට පුරා අලුත් දේශපාලන බලවේගයක් ගැන කතා වෙමින් සිටිනවා. එයින් පළමු වැන්න වන්නේ අදුෂිත දේශපාලනය, දෙක යහපත් වෘත්තියවේදීන්, තුන ඒ අරමුණ වෙනුවෙන් කැපවෙන වැඩකරන ජනතාව. මේ බලවේග තුන ඒකරාශී කරපු අලුත් බලවේගය තමයි අද මේ ආරම්භ කරපු ජාතික ජන බලවේගය. අපි ආරම්භ කරන්න ඕනේ කොතනින්ද? 

අද මේ රටේ දේශපාලනය තුල අල්ලස, දුෂණයෙන්, වංචාව පිරිලා. ශිෂ්ඨත්වය වෙනුවට අශිෂ්ඨත්වය අතින් ගත් පිරිසක් අද මේ දේශපාලනයේ ජයකෙහෙළි නංවමින් සිටිනවා. මේ කැත දේශපාලනය වෙනුවට රට තුල යහපත් දේශපාලනයක් ගොඩනගන බව අපි ජනතාවට පොරොන්දුවෙනවා. ඒක තමයි අපි වෙනස් කළ යුතු පළමු පියවර

මේ රටේ ආර්ථිකය ගොඩනගන්න ඕන. මේ ගමන් කරමින් සිටින ආර්ථික ගමන් මාර්ගය වෙනස් කළ යුතුයි. ඒ වෙනුවෙන් ජාතික නිෂ්පාදනයට මුල්තැන දෙන, මානව සම්පතට නව ආර්ථික උපාය මාර්ගයකට අපි එක්විය යුතු බව කියනවා. කෘෂි කර්මාන්තය, ධිවර ඇතුළු වැඩකරන ජනතාවට යහපත් දිවියක් ගත කිරීමට හැකි ආර්ථිකයක් ගොඩනගනවා. ඔවුන්ගේ සාමාජ තත්ත්වය උසස් කිරීමේ යහපත් සමාජ ක්‍රමයක් ඇති කරන්න කටයුතු කරනවා.

මේ රටේ විවිධ බෙදීම් ඇති කරලා තියෙනවා. කතාකරන භාෂාව, සංස්කෘතිය මත පමණක් නොවේ ලිංගික රුචිඅරුචිකම් මත ඒ බෙදීම් ඇති කරලා තියෙනවා. රටේ ජන ප්‍රජාව තුල තිබෙන සියලු බෙදීම් ඉවත් කිරීමට අපි සහතික වෙනවා. ඒ බෙදීම් ඉවත් කරනලද යහපත් සමාජ ක්‍රමයක් ඇති කරන බවට පොරොන්දු වෙනවා.

ඒ වගේම අද විශාල සාකච්ජාවක් ගොඩනැගී තියෙනවා ජාතික ආරක්ෂාව ගැන. අද පාසැල්, රෝහල් ඉදිරිපිට. සිංහල සහ මුස්ලිම් ගම්මාන ආසන්නයේ පොලිස් මුරකපොලු තියෙනවා. මහජනතාව තුල බියක් ගොඩනැගී තිබෙනවා. එක් ජාතියක් අනෙක් ජාතිය ගැන බියෙන් සැකයෙන් සිටින්නේ. කිසිදු ජාතිවාදියෙකුට රටේ ජනතාව ගැන තහවුරු කරන්න බැහැ. ජනතාවගේ ආරක්ෂාව ගැන වගකියන්න පුළුවන් ජාතික සමගිය ගොඩනැගීමෙන් පමණයි. ඒ ජාතික සමගිය ගොඩනගන බව අපි පොරොන්දුවෙනවා.

පුද්ගල නිදහස සම්බන්ධයෙන් අද විශාල කතාබහක් ඇතිවී තිබෙනවා. නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම මුල් තැන ගෙන තිබෙනවා. ඒ වගේම අපේ රටේ පරිසර පද්ධතිය ගැන විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා. නායයාම්, ගංවතුර, නියගයෙන් පිඩා විදින තැනට ඇවිල්ලා තියෙනවා. අපේ දුවා දරුවන්ට කන්න දෙන්න වෙලා තියෙන්නේ වස විසෙන් යුත් කෑම. විදෙස් රටවල් වලින් කුණු ගෙනල්ලා ගොඩ ගහනවා. අපේ අනාගතේ දුවා දරුවන්ට වසෙන් විසෙන් තොර ආහාර ලබාදිය යුතු ක්‍රමවේදයක් අපි ගොඩනගනවා.

රටේ තරුණ තරුණියන්ට ඔවුන්ගේ ආකල්ප මත සංවර්ධන ක්‍රියාදාමයට එකතු කර ගන්න පුළුවන් සංවර්ධනයක් අපි ඇති කරනවා.

අපේ රටේ හොද මිනිස්සු මේ සිදුවන විනාශය ගැන කම්පාවෙන් ජීවත්වෙනවා. තවත් මිනිස්සු මේ වෙන විනාශය ගැන තමන්ගේ ඇස් වලින් කෝපය පිටකරමින් සිටිනවා. මේ හඩනගන ජනතාවට සමාජ පරිවර්තනය වෙනුවෙන් පෙනී සිටින්න කියලා. ඔබලා අප කෙරෙහි තබන විශ්වාසය කිසිදු අවස්ථාවකදී කම්පා වීමට ඉඩ නොතබන බව සපත කරන බව අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා කියා සිටියා.

අපේ ජනතාව නුතන්තවයෙන් හෙඹි පුද්ගලයින් පිරිසක් විය යුතුයි. ලෝකය ඉදිරියේ අපි ඉදිරියට පැමිණිය යුතුයි. ඒ සඳහා මේ රට ඉදිරියට එන්න ඔබල වෙනස් විය යුතුයි. ඒ සඳහා සියලු දෙනා එක්විය යුතුයි. ඈත ගම් නියම්ගම් වලින් පැමිණි ඔබ සියලු දෙනා ඒ වෙනුවෙන් පෙනී සිටීන ලෙස ඔබලා ගෙන් මා ඉල්ලා සිටිනවා" ජාතික ජන බලවේගයේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක කියා සිටියා.

.............................................................................

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට (LIVE)

ජාතික ජන බලවේගයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජාතික විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක නම් කරනු ලැබුවා. ඒ දැන් ගාලු මුවදොරදී පැවැත්වෙන සිය මංගල රැස්වීමේදී.  

 

....................................................

ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා එළිදැක්වෙන ජාතික ජන බලවේගය මංගල රැළිය ඇරඹේ (LIVE)

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු තවත් සංවිධාන 28ක ගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ ජාතික ජන බලවේගයේ මංගල රැළිය මේ වන ගාලු මුවදොර දී මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා සිය අපේක්ෂකයා මේ අද (18) දිනයේදී රට හමුවේ හඳුන්වාදෙන බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්න්නෙත්ති ප්‍රකාශ කර සිටියේ.

මෙම ජාතික ජන බලවේගයට මහා සංඝරත්නය, කලාකරුවන්, විද්වතුන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් එක්වී සිටින බවයි සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා කියා සිටියේ.