Saturday, April 27, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආරක්‍ෂාව ගැන පාකිස්තානය යළි කතා කරයි

කසුන් කැලුම්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට මෙතෙක් කිසිදු තොරතුරක් තමන් වෙත ලැබී නොමැති බව පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලය පවසනවා. සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එම ආයතනය පෙන්වා දෙන්නේ ඒ පිළිබද බුද්ධි තොරතුරක් හෝ තමන් වෙත ලැබී නොමැති බවයි.

මෙම මස අගදී පාකිස්තානයේ තරග සංචාරයක නිරත වීමට සූදානමින් සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බවට තොරතුරක් වාර්තා වූ බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය තමන් වෙත දැන් වූ බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඊයේ නිවේදනය කළේ.

ඊට ප‍්‍රතිචාර දක්වමින් පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලය සිය ට්විටර් සටහනෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට දැඩි ආරක්ෂාවක් ලබාදීමට තමන් කැප වන බවයි. 

කෙසේවෙතත් අග‍්‍රාමාත්‍ය කාර්යාලය කළ දැනුම් දීමට අනුව යළිත් පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය පිළිබද වාර්තාවක් කැදවීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත්තේ. එම වාර්තාව ඉදිරි දින කිහිපයේදී ලැබෙනු ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත සදහන් කළා.

ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න ඇතුළු කී‍්‍රඩකයින් දස දෙනෙකු පාකිස්තානු තරග සංචාරයට එක් නොවන බව මීට පෙර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබුණා.

ඒ අනුව පාකිස්තානු තරග සංචාරයේදී ශී‍්‍ර ලංකා එක්දින පිලේ නායකත්වය ලහිරු තිරිමාන්නට පැවරුණු අතර විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට දසුන් ශානක පත් කෙරුණා. පාකිස්තානයේ තරග සංචාරය කිරීමට අපේක්ෂාවෙන් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම එහිදී එක්දින තරග 3කට සහ පන්දුවාර විස්ස තරග 3කට සහභාගිවීමට නියමිතව තිබෙනවා.