Friday, April 26, 2024

General line - 0115112241

පාතාල නායක පොඩි ලැසීගේ කුමන්ත්‍රණයක් හෙළිවේ

නිශාන් ද සිල්වා




අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින අපරාධකරුවෙකු වන පොඩි ලැසී සිය නීතිවිරෝධී කටයුතු සදහා බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය ලබාගැනීමට සිදුකර ඇති උත්සාහයක් හෙළි වී තිබෙනවා.

නෙත් නිවුස් වෙත වාර්තා වුණේ එම බන්ධනාගාරයේ සිරකරුවන් විසින් නිෂ්පාදනය කරනු ලබන විසිතුරු භාණ්ඩ වැඩි මුදලකට පොඩි ලැසී විසින් මිළදී ගෙන ඇති බවයි. බන්ධනාගාර නීතියට අනුව එහි නිෂ්පාදන සිරකරුවන්ට මිළදී ගැනීමට අවස්ථාවක් හිමි වන්නේ නැහැ. ඒ අනුව නිලධාරීන් ලවා වැඩි මුදලකට එම භාණ්ඩ මිළදී ගැනීමට අවස්ථා කිහිපයකදී ඔහු උත්සාහ දරා තිබෙනවා. 

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සුබසාධක සංගමයේ අධීක්‍ෂණය යටතේ විවිධ විසිතුරු භාණ්ඩ එහි රදවා සිටින සිරකරුවන් විසින් නිෂ්පාදනය කරනු ලබනවා. එලෙස නිෂ්පාදනය කර රුපියල් 3,500 කට අළෙවි කරන විසිතුරු කුඩා බෝට්ටු 5 ක් පොඩි ලැසී විසින් රුපියල් 25,000 ක මුදලකට මීළදී ගෙන ඇත්තේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සුබසාධක සංගමයේ නිලධාරිණියක් හරහායි. 

එම නිලධාරිණියට මුදල් ලබාදී ඇත්තේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ආපන ශාලාවේ සේවය කරන නිලධාරීන් හරහා බවටද තොරතුරු හෙළි වී තිබෙනවා. 

වැඩි මුදලකට එම භාණ්ඩ මිළදී ගැනීමේදී ලැබෙන ලාභය බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු වෙත ලැබීමට සලස්වා එම නිලධාරීන් ලවා සිය අවශ්‍යතා ඉටුකර ගැනීම පොඩි ලැසීගේ සැලසුම වී ඇති බවටයි

වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.  මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්‍ෂණවලට පොඩි ලැසී සහ එම ජාවාරමට සම්බන්ධ කාන්තාව ඇතුළු කිහිප දෙනෙක් ඊට ද බාධා කරන බවද බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් සදහන් කළා.