Saturday, April 27, 2024

General line - 0115112241

ඉස්ලාම් අන්තවාදීන් ගේ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 54ක් ජිවිතක්ෂයට 




මාලී හි නැගෙනහිර ඉන්ඩලිමානෝ ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක් ඉලක්ක කර ගනිමින් ඉස්ලාම් අන්තවාදීන් විසින් සිදුකරනු ලැබූ ප්‍රහාරයකින් එහි සිටි යුධ හමුදා සෙබළුන් 54 දෙනෙකු සහ එක් සිවිල් වැසියෙක් මියගොස් තිබෙනවා. කඳවුරේ සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙක් පමණක් ප්‍රහාරයෙන් දිවි බේරා ගැනීමට සමත්ව ඇති බවයි එරට රජය ප්‍රකාශ කර සිටින්නේ.

නයිජර් දේශසීමාවට ආසන්නයේ පිහිටි මෙම යුධ හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් එල්ලවූ ප්‍රහාරයෙන් පසුව එහි ළඟාවූ අමතර භට පිරිස් විසින් මියගොස් සිටි හමුදා සෙබළුන් ගේ සහ සිවිල් වැසියාගේ සිරුර හමුවී ඇති බවයි එරට සන්නිවේදන අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

මාලි යුධ හමුදා ප්‍රධානින් ප්‍රකාශ කර සිටින්නේ මෙය ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් විසින් සිදුකර ඇති බවයි. කෙසේ වුවත් මේ දක්වා කිසිදු ත්‍රස්ත කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාර ගෙන නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මිට මාසයකට පෙර මාලි හි බුර්කිනා ෆාසෝ දේශ සීමාව ආසන්නයේදී ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාර දෙකකින් මාලි යුධ හමුදා භටයින් 40 දෙනෙකු මියගියා.