Saturday, April 27, 2024

General line - 0115112241

බැඳුම්කර නිකුතුවේ වෝහාරික විගණනයන් 05ක් අවසන් : වාර්තා සියල්ල නීතිපති අතට 




ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් කළ වෝහාරික විගණන පහක් අවසන් කර ඇති අතර රහස්‍යභාවය ආරක්ෂා කර ගනිමින් නීතිමය බලයක් තිබෙන අධිකාරීන් වෙත පමණක් ඒවායේ වාර්තා නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියි.

ඉදිරි නීතිමය කටයුතුවලට බාධා නොවන පරිදි එම විගණන වාර්තාවල යම් යම් කොටස් පමණක් මහජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටින්නේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සම්පුර්ණ වාර්තාව පහතින් දැක්වේ :

2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා කාලසීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ව විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මගින් කරන ලද නිර්දේශයන් ද  අනෙකුත් විගණන වාර්තා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන සහ නියෝජිත කාර්යයන් සම්බන්ධයෙන් කරන ලද අභ්‍යන්තර විමර්ශන වාර්තාවල අඩංගු වූ කරුණු ද සලකා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් විගණකාධිපතිතුමාගේ ද උපදෙස් ලබා ගනිමින්, වෝහාරික විගණනයන් පැවැත්වීමට කටයුතු කරන ලදී.

මෙම විගණන කටයුතු සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදන කමිටුවක් මගින් රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලව, ගෝලීය පරිචයක් සහ ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත විගණන සමාගම් තෝරා ගනු ලැබූ අතර, එම විගණන කණ්ඩායම් සම්පූර්ණයෙන් ම විදේශීය සාමාජිකයින්ගෙන් සමන්විත විය. මෙම ප්‍රසම්පාදනය සඳහා වූ අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිරීක්ෂකයෙකු වශයෙන් විගණකාධිපතිතුමාගේ නියෝජිතවරියක්ද කටයුතු කරන ලදී.

අදාළ විගණන සේවාවන් ප්‍රසම්පාදනය කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් 2019 ජනවාරි 14 දින මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ ද සඳහන් පරිදි මෙම ක්‍රියාවලිය පහත සඳහන් පරිදි විගණනයන් 5කින් සමන්විත විය.  

එම විගණනයන්හි විෂය පථය සකස් කිරීමේ දී විගණකාධිපතිතුමාගේ හා නීතිපතිතුමාගේ උපදෙස් සඳහා යොමු කරන ලදී.

1. 2002 ජනවාරි 01 දින සිට 2015 පෙබරවාරි 28 දින දක්වා කාලය ඇතුළත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම,  

2. 2002 ජනවාරි 01 දින සිට 2015 පෙබරවාරි 28 දින දක්වා කාලය ඇතුළත නිකුත් කරන ලද/ගනුදෙනු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ කරගෙන සේවක අර්ථසාධක අරමුදල මගින් සිදු කරන ලද ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු, 

3. 1998 ජනවාරි 01 දින සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා කාලය ඇතුළත සේවක අර්ථසාධක අරමුදල මගින් ලැයිස්තුගත කළ හා ලැයිස්තුගත නො කළ කොටස්වල කරන ලද ගනුදෙනු, 

4. 2015 පෙබරවාරි 01 දින සිට 2016 මාර්තු 31 දින දක්වා කාලය ඇතුළත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම හා ලැබුණු මුදල් මහා භාණ්ඩාගාරයට සම්ප්‍රේෂණය කිරීම

5.  තෝරා ගත් ප්‍රාථමික වෙළෙඳුන් සම්බන්ධයෙන් 2009 ජනවාරි 01 දින සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා කාලය ඇතුළත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරී/බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද අධීක්ෂණ හා නියාමන කාර්යභාරය පිළිබඳ 

මෙම විගණනයන් සියල්ල 2019 ඔක්තෝබර් මැද වන විට අවසන් කිරීමට බලා‍පොරොත්තු වූ නමුත් 2019 අප්‍රේල් මස ඇති වූ  ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ද, විගණනයන් සඳහා අවශ්‍ය දත්ත ලබා ගැනීමේ දී මුහුණ පෑ අභියෝග හේතුවෙන් ද, (ඇතැම් තොරතුරු බාහිර ආයතනයන් වෙතින් ලබා ගැනීමට සිදු විය) එම විගණනයන් අවසන් කිරීමට අමතර කාලයක් ලබා දීමට සිදු විය.

මේ වන විට විගණනයන් පහම අවසන් කර ඇති අතර, විගණන කණ්ඩායම් විසින් අවසන් වාර්තා මුදල් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

මෙම විගණන වාර්තාවල ඇති සොයා ගැනීම්වල ස්වභාවය සලකා බලා මෙම වාර්තා අදාළ අධිකාරීන් වෙත ඉදිරිපත් කිරීම ද, විශේෂයෙන්ම ඒවා ප්‍රසිද්ධ කළ යුතු ද යන්න පිළිබඳව මුදල් මණ්ඩලය විසින් නීතිපතිතුමාගෙන් උපදෙස් ලබා ගන්නා ලදී.

ඒ අනුව, ඉහත කී විගණන වාර්තා, එහි ඇමුණුම් සහ අනෙකුත් ඉදිරිපත් කර ඇති දෑහි අඩංගු කරුණු, අදාළ විමර්ශන සහ දැනට ආරම්භ කර ඇති සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාක්ෂි ලෙස යොදා ගැනීමට ප්‍රවණතාවක් ඇතැයි සලකන නිසා එම වාර්තා ලබා ගැනීමට ව්‍යවස්ථාපිත අධිකාරියක් ඇති පාර්ශ්වයන්ට පමණක් ලබා දීමට ද, එසේ ලබාදීමේ දී අදාළ විමර්ශන සහ  දැනට ආරම්භ කර ඇති සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගවලට අගතිගාමී නො වීමට වග බලා ගැනීම  සඳහා විගණන වාර්තා ලබා ගන්නා පාර්ශ්වයන් ඒවායේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් රහස්‍යභාවය රැක ගත යුතු බවට ද අවධාරණය කළ යුතු බවටත් නීතිපතිතුමන් විසින් උපදෙස් දී ඇත.

මීට අමතර ව, අදාළ විගණන වාර්තාවල කරුණු නීතිපතිතුමා විසින් සම්පූර්ණයෙන්ම සලකා බැලීමෙන් අනතුරුව අදාළ විමර්ශන සහ දැනට ආරම්භ කර ඇති සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගවලට පටහැනි නො වනු ඇතැයි සැලකෙන මහජන දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කළ හැකි කොටස් ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දීමටත් නීතිපතිතුමා එකඟත්වය පළ කර ඇත.

ඒ අනුව ඉහත සඳහන් වෝහාරික විගණන වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නීතිපතිතුමාගේ උපදෙස් අනුව ක්‍රියා කරනු ලබන බව මහජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.